Friday, March 16, 2012

ජීවිතයේ පාඩම් කියා දෙන ඔබ ගැන ....

ලොව ශ්‍රේෂ්ඨටම වෘත්තීන් අතර ගුරු වෘත්තිය ඉහල කොට සලකන්නේ ලෝකයේ හා මනුස්සවර්ගයාගේ රඳා පැවැත්ම සඳහා වු පදනම සකසන පුද්ගලයා ගුරුවරයා වන හෙයිනි..
ළමයෙකුට ලෝකය දකින්නට ..
ලෝකයේ හිස ඔසවා ජීවත් වන්නට..
මිනිසුන් තේරුම් ගන්නට ඔබ අප හුරු කරන්නේ යම් සේද..
ගෙදර වැටි වැටි නැගිටින්නට දෙමාපියන් උදවු වන්න සේම,
සමාජයේ නොවැටී සිටින්නට අවැසි ආකල්පමය පදනම සපයන්නේ ඔබයි..

පාසල් ගේට්ටුවෙන් අපිව බාරගෙන ගෙදර බිත්ති හතරින් එහා ලෝකයක් ඇති බව අපිට මුලින්ම පසක් කර දුන්නේත්..
හැමදාම එකම තැන වාඩි නොකර එක එක තැන් වලා වාඩිකරලා සමාජයේ හැම එකාම එක වගේ නොවන බව මුලින්ම දැනෙන්න සැලැස්වුවේත් නුඹයි..

පාඩම කියාදී ව්භාගය තියන්නේ පාසලේ පමනක් බවත්
ජීවිතය පාඩම කියාදෙන්නේ විභාගය අවසානයෙදී බව මට කියා දුන්නේ ඔබයි...

කොතරම් සැප සම්පත් තිබුනත් අවසානයේ අවැසි වන්නේ මිනිසුන් බවත්..
සැපේදී සිටිනා මිතුරන්ගෙන් දුකේදී ඉතුරු වන්නේ අතලොස්සක් බවත්..
ජීවිතය ජයගන්නේ පොත් ගුල්ලන් නොව සමාජය නිවැරදිව කියවන්නට හැකි උන් බවත් අපිට කියා දුන්නේ ඔබයි..

උත්සවයක් දවසක හවසට එක බෝතලේට සෙට් වෙලා
ඊගාව දවසේ නැවත සුපුරුදු "ඔබ" දකිද්දි
තැනට උචිත අයුරින් හැසිරෙන්නට හා "එතනින් එය ඉවර කිරීම"අපිට නොකියා කියා දුන්නේ නුඹයි..

ඔබෙන් සිනා සිසි කන වේවැල් පාරම අම්ම ගෙන් කෑවාම අපි කැමොර දිදී හඬන්නේ වේවැල් පාරේ වේදනාවට නොවන බව අපිට තේරුම් කලේ නුඹයි..

වගකීමේ හා වගවීමේ වෙනස මට කියා දුන්නේත්..
තනතුරු/වගකීම් දැරීමට දක්ෂයා මං වෙද්දී ඔබ සුදුස්සාට එය ලබාදී
ඒ තුලින් ඇතැම් අවස්ථාවල දක්ෂයාට වඩා ගැලපෙන්නේ සුදුස්සා බව මට කියා දුන්නේත් නුඹයි...

අපගේ සමාජීය දේශපාලනයේ පලමු පාඩම බොහෝ විට ඔබගෙනි...
කොටින්ම මිනිසුන් තනන්නේ...
ඇට ලේ මස් නහර සහිත මිනිසාව,මනුස්සයෙක් කරන්නේ..
මහත්වරු,මහත්මයො කරන්නේ ඔබයි..

අද මා ලොව යම් හෙයකින් දකින්නේ නම්
ජීවිතය ජීවත් කරන්නේ නම්
වැරැද්දෙන් නිවරැද්ද තෝරා ගන්නවා නම් එහි සියලු පැසසුම් හිමිවිය යුත්තේ ඔබටයි!

කවදාවත් වයසට නොයන
කොතරම් වයසට ගියත් හැමදාම සිතින් අපිටත් වඩා තරුණ..
තමන්ට වඩා සිසුන් ඉහලට යද්දි ඒ දිහා බලා ආඩම්බර වෙන එකෙකු මෙලොව වේ නම් ඒ ඔබ පමණයි!

ආදරණීය ගුරු අම්මේ තාත්තේ....
ඔබට උපහාරයක්ම වේවා!

ලිපිය ලියා එව්වේ : සබිත්  http://www.sabithl.blogspot.com/

Monday, March 12, 2012

ගණිතය මෙන්ම දේවත්වයත් පෙන්වූ ඔහු


ජීවන ගමන් තලාවේ අපට හමුවන දහසකුත් අය අතුරින් මතකයේ රෑදී සිටින චරිත වේ නම් ඒ බොහොම අතලොස්සකි. ඒ බොහොමයක් දෙනා ජීවිත කාලය පුරාවටම අපට අමතක කරන්න බෑරි, මේ සන්සාර ගමනේදී අපට හමුවන එක්තරා සොදුරුබරම මනුශ්‍යය කොට්ඨාශයක්  ම නිසාවෙනි. ඒ අතුරිනුත් මගේ ගුරුවරයෙක් වේ නම් ඔහුට හෝ ඈයට මා අතිමහත් ගෞරවයක්  දක්වන්නේ පොතේ පතේ දෑනුම මෙන්ම ජීවන දර්ශනය ගෑන වදනකින් හෝ ඔවදනක් දී මාගේ ජීවිතය පහන් කරන්නට දෑක්වු වෙහෙසට ප්‍රණාමයක් දක්වනු පිණිසම නොව, කුඩා කල සිටන්ම ගුරුවරුන්ට දක්වන අපිරිමිත සෙනෙහස, ආදරය, අසීමිත ඈල්මය.

13 වසරක් පාසල තුලත් එතෑනින් ඔබ්බට නොයෙකුත් තෑන් වලදි ගුරුවරයා කියන චරිත අපි අඹිමුවට පෑමිනේ. ගෙවුනු කාලය පුරාවට නිතෑතින්ම සිහියට නෑගෙන, මතකයෙන් නොගිලිහෙන, හදවතේ රෑව්දෙන මන් බොහොමයක් ගරු කරන ගුරු චරිත 2ක් වේ නම් ඒ මට 8,9,10,11 වසර වලදි ගණන් උගන්වපු "තිලක් විදාණපතිරන " සර් සහ අදටත් මට අකුරු කරවන එක්තරා ගුරුවරියක් පමණකි.

සිරි ලන්කාවේ පාසල් කාලය පුරාවටම හමුවන ප්‍රධාන සන්ධිස්ථාන කීපය අතුරින් ළමයෙකුට 5 ශිෂ්‍යත්ව කඩයිම(අද කාලේ අම්මලාගේ විභාගේ) , 11 වසර O/L විභාගේ , O/L පාස් උනොත් A/L විභාගය මුහුනදීමට සිදුවන ප්‍රධානතම අභියෝගයන්ය.
O/L කිව්වම ළමයින්ගේ භීතිකාව වෙන්නේ ගණන්ය. (ඒ ඈයිද කියලා මන් අදටත් දන්නේ නෑ). O/L විභාගයට දවස් කීපයකට පෙරත් සර් පන්තියේදි අපට කිව්වේ " ළමයෙකුට පාස් වෙන්නත් ෆේල් වෙන්නත් ලේසිම විෂය ගණිතය" කියලා (මොකද ගණිතය පේපර් 1ට ලකුණු 0ක් ගන්නත් 100ක් ගන්නත් පුලුවන් කියලා සර් අපිට කලින්ම තේරුම් කරලා දීල තිබ්බේ)
මාත් ඉතින් දෙයියනේ කියලා 8 වසරේ ඉදන් ගණන් වලට ටියුශන් පන්තියකට යන්න සිදුවුනේ, ඔනෑකමක් ඈති වුනේ 7 වසර අවසාන වාර විභාගයේදී මා ගණිතය විෂයට දක්වපු දක්ෂතාවය මා මෙන්ම අපේ ගෙදර අයද දෑන සිටි නිසාවෙනි. (7 වසර අවසාන වාර විභාගයේදී මට ගණන් වලට තිබ්බේ ලකුණු 33) ප්‍රදේශයේ සිටින දක්ශතම, ජනප්‍රියම දේශකයා තිලක් සර් උනාට අපේ ගෙදරින් වෑඩි හොදට මාව යෑව්වේ සර්ගේ කණ්ඩායම් පන්තියකටය. බොහොම ටික දවසකින්ම මහා විපර්යාසයක පෙරනිමිති පෙන්නුම් කරන්නට විය. එහි මුල්ම ප්‍රතිඵලය 8 වසර පලමු වාර පරීක්ෂණයට මට ලකුණු 89ක් ලෑබීමත් සමගය.
               
එතෑනින් ආරම්භ වූ ඒ ගමන අවසන් වෙන්නේ O/L වලට "A" 1 ක් සමගය. A/L වලට ගණිත විෂය ධාරාව තොරා ගෑනීමටද මෙය ප්‍රධාන පසුබිම විය. 8,9,10,11 වසර වල මා ගණන්කාරයෙකු කිරීමේ පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ තිලක් සර්ටය. සර් අපිව විෂයෙහි දෑනුමෙන් පූර්ණව සන්නද්ධ කරා, සර්ගේ විෂයෙහි ඈති ප්‍රවීණත්වය, දක්ෂතාවය ගෑන මා පුරසාරම් නොදොඩන්නේ, සරුත් කවදාවත් සර් ගෑන ප්‍රශස්ති නොගෑයූ නිසාවෙනි. සර් ගෙන් එක් දිනක් හෝ අකුරු කරපු අයෙක් වෙතොත්, සර්ගේ විෂයෙහි ඈති ප්‍රවීණත්වය, දක්ෂතාවය පිළිබදව මොනවට සාක්ෂාත් කරන බව නොරහසකි. 

                   පාසළ තුලත් ඉන් පිටත් සර්ට තිබ්බේ පුදුම පිළිගෑනීමක්, ගෞරවයක්. ඈත්තටම
සර් පුදුම ආදර්ශවත් චරිතයක්. විශේෂයෙන් ළමයින්ට නම් සර් ව දෙවියෙක් වගේ. ඒ වගේම සර්ට පුදුම ආදරෙයි, සරුත් ළමයින්ට එහෙමයි. පාසල තුල ඈට බෝලයකටත් රණ්ඩු කරන පොඩි කොල්ලෝ කුරුට්ටොන්ගේ රන්ඩු සරුවල් බේරන්න පන්ති භාර ගුරුවරයාට පුලුවන් උනාට, ඉහළ පන්ති වල හයේ හතරේ ඉලන්දාරී කොල්ලන්ගේ වලි බේරන්න විදුහල්පතිටත් බෑරි වෙනකොට ඒ හෑම දබරයක්ම විසදුවේ සර්. කොච්චර දඩබ්බරයෙක් උනත් සර්ට මෙල්ල වෙනවා. සර්ගේ වචනයකට උනත් ලමයි පුදුම විදිහට ගරු කලා. සර්ගේ වචනෙට උඩින් කවුරුවත් ගියේ නෑ. එක් දිනක් ඉස්කොලේ ඈරිලා යනකොට සර් බයික් 1න් වෑටිලා රෝහල් ගත කරාම මුලු රෝහල පිරෙන්න පාසල් කීපයකම ළමයි එකතු වුනේ සෑනිල්ලකින්, රෝහල් කාර්‍යය මණ්ඩලය පවා පුදුම කරවමින්ය. එදා බොහෝ දෙනෙකුට බොහෝ දෙවල් තෙරුම් කරවපු දවසක් විය.

පන්ති කරපු කාලෙදි උනත් සර් පුදුම කෑපකිරීමකින් උගෑන්නුවේ. සර් ටියුශන් පන්ති වලදි අය කරන මුදලට  100 ගුණයක සාධාරනත්වයක් කරනවා. පන්ති වල පිස්සු නටන, වෑඩ කරන්නේ නෑති ළමයින්ට අවවාදයක් දෙනකොට සර් නිතරම කියනවා, මන් ඔයගොල්ලොන්ගෙන් මුදලක් අය කරනවා, ඔයාලට උගන්වන්න ඔයාලගේ දෙමාව්පියෝ දුක් විදලා හම්බ කරලා තමයි ඔයාලව පන්ති වලට එවන්නේ, මටත් ණයකාරයෙක් වෙන්න බෑ, හොදට ඉගෙනගන්න මන් පුලුවන් හෑම උදව්වක්ම කරනව කියලා. පන්ති 8ට පටන් ගන්නවා නම් හරියටම 8ට සර් පන්තිය පටන් ගන්නවා, නතර කරන්නේ වෑඩිපුරත් කරලා.
                                 
සර්ගේ තියෙන නිහතිමානකම, අව්‍යාජකම, මනුස්සකම, චාම් සරල ගති පෑවතුම් අපි හෑමොටම මහගු ආදර්ශයක්. O/L විභාගෙට දවස් කීපයකට කලින් අපේ පන්තියේ අන්තිම දවසේ මගේ සමරු පොතේ සර් ලිව්වේ මෙහෙමයි "යහපත්වු සියලු පෑතුම් ඉටුවෙන වාසනාවන්ත අනාගතයකට සුභ පෑතුම්"
ඈත්තටම ඒක මහා ශ්‍රේෂ්ඪ කියමනක් නොවුනත්, ඒ වදන් පෙළ අදටත් මගේ හිතේ දෝන්කාර දෙනවා, ඒක කොයිතරම්ද කියනවානම් කාගේ හෝ උපන් දිනයකට, අලුත් අවුරුදු උදාවකට, නව වසරක් මුලදී මෙන්ම නොයෙකුත් විශේෂ තෑන්වලදී මන් අදටත් සුභ පතන්න මන් යොදා ගන්නේ ඔය වදන් පෙළයි.

O/L කාලයේ විතරක් නෙවේ 10,9,8 වසර වලදිත් මන් පන්තියේ ගණන්කාරයෙකු වුයේ සර් ට පින්සිද්ද වෙන්නය. ඒ දවස් වල පන්තියේ මම ගණන් වලදි පොරක්. ඉස්කොලේ දෙන ගෙදර වෑඩ නොකරන, ගණන් තෙරෙන්නේ නෑති ලමයි පහුවදා උදේට මන් එනකම් මග බලන් එන්නේ මන් හදලා තියෙන ගණන් ටික කොපි කරගන්නටයි. එදා ඒ ගණන් වලට දක්වපු ඈලුම්කම අදටත් එහෙම්මමයි.10,11 පන්තිවලදි උගන්වපු ගණන් මට අදටත් හොදට මතකයි. ඒ දවස් වල සර් සාධනය කරපු ප්‍රමේයයන් එහෙම මට පේළියක් නෑර මතකයේ තියෙන්නේ එදා ඒ සර් මගේ හිතේ ගණිතය විෂය කෙරෙහි ඈති කරපු ආශාවයි.
දයාබර "තිලක් විදානපතිරණ" ගුරු පියාණෙනි,
ඔබට මගේ හදපිරි නමස්කාරය...!!!

ලියා එව්වේ : මාලක අමිත් ප්‍රසන්න.

Wednesday, February 1, 2012

මම ටෙට්සුකී හෝ එලිසබෙත් ඇලන් හෝ අල්තිනායි නොවෙමි...

මගේ පියාට කිසි දිනෙකත් එබ්‍රහම් ලින්කන් මුල් ගුරුතුමාට යැව්වා මෙන් ලියමනක් මගේ ගුරුවරයාට යැවීමට නොහැකි විය.යළි යළි ගුරුවරයා යන්නෙහි නියම අරුත පවා මට බොහෝ කලක් ප්‍රශ්නකාරී විය.
ගුරුවරයා මගෙන් ඉතාම දුරස් චරිතයක් බවට පත් වී තිබූ බව මට හොඳින් මතකය. (මගේ මවද ගුරුවරියක්)
ගුරුවරයා ස්ත්‍රියක් නම්.. ඇය සාරියක් හෝ ඇයගේ සංස්කෘතියට ගැළපෙන සභ්‍ය ඇඳුමකින් සැරසුනු, විනීත ලලනා පැවතුම් ඇති.. සභ්‍ය ..සුමට හා අවශ්‍ය විටක තදින් ද කතා කළ හැකි අයෙක් විය යුතුයැයි..කුඩා කල මට සිතිණි. (අම්මා ඇසුරෙන් විය හැක)

පිරිමි ගුරුවරුන් පාසල් වල නොසිටිය යුතු බවද, ඔවුහු ඉතා සැර පරුෂ, වේවැල් වලින් ළමයින්ට පහර ගසන්නට බලා සිටින.ඉතාම නපුරු... දරුවන් නිරන්තරයෙන් රිදවන....දුර්වල තැන් හී හිනා වෙන .. සෙනඟ අසල ලැජ්ජාවට පත් කරන ...කොහෙත්ම බාලිකා විද්‍යාල වලට නොගැළපෙන අය විය යුතු යැයි මම සිතුවෙමි. ( උසස්පෙළ ගුරුවරු ඇසුරෙනි)


ඒ දිනක් මා ඉදිරිපිටදීම ගුරුවරයෙක් අතින් පිරිමි ළමයෙකු තැලුම් කෑ නිසා මම බොහෝ බියට පත්වීමි..
මම කැමති විදිහේ ගුරුවරු මට සිහිනයක්ම විය.

පාසලේ දී ගුරු දිනයට නොයෙක් උත්සව සංවිධානය කෙරෙද්දි මම එම උත්සව වලට සහභාගි වීමි. එහි මිහිරක් මට නොදැනුණේ පාසල් ගුරුවරුන්ගේ සමස්ත අවධානයෙන් මා බැහැර පත් වූ චරිතයක් හෙයිනි. එකල මම මෙය හෙළි කරන්නට මඳක් ලජ්ජා වුවද, අද වන විට මේ පිළිබඳව බොහෝ දෙනෙක් දන්නවා ඇතැයි මම විශ්වාස කරමි. එහෙයින් අද දින මම සියල්ලන්ගේම අවධානයෙන් මුක්ත වූ චරිතයක් යැයි කීමෙන් මට කිසිම දුකක් උපදින්නේ නැත.

ලියන විලාසයේ සිට, කවි කියන විලාසයේ සිට, සිතීමේ විලාසයේ සිට, ඔවුහු මා සැලකුවේ යම් අංගවිකල ස්වරූපයකිනි..එයින් නිරන්තරයෙන් පීඩාවට පත් වූ නිසාදෝ මම ගුරුවරුන්ට වෛර කරන්නට පටන් ගතිමි.
මම කවියක් ලියුවොත්, එය මා ලියූ බවට පිළිගන්නට තරම් ගුරුවරු මා අවිශ්වාස කළේ මන්දැයි මම අදටත් මගෙන්ම ප්‍රශ්න කරමි...ඔවුන්ට මා නොසලකන්නට තරම් හේතු තිබුණා විය හැක.
පුංචි පන්ති වලදී කලු කැහුටු නිසාද, මැද පන්ති වල කලුම කලු නිසාද , ලොකු පන්ති වලදී කලු මහත නිසාද මගෙන් බොහෝ අවස්ථා මඟහරවන්නට ඔවුන් කටයුතු කළද අද වන විට ඉහත කී කිසිවක් නිසා මා සිතේ ඔවුන් කෙරෙහි වෛරයක් උපදින්නේ නැත.

මගෙන් බොහෝ මාර්ග අහුරා දැමූ ඔවුහූ ...මට නොපෙනෙන මාර්ග විවර කර දුන් බව පමණක් මම අද දනිමි.
මේ ලිපිය ලියන්නෙ සැබවින්ම කුමක් වෙනුවෙන්දැයි ඔබ ප්‍රශ්න කරනු ඇත.
දුයිෂෙන් , කොබයාෂි මහත්තයා සහ මිස්ටර් ලුවිස් යන තිදෙනාටම වඩා හොඳ ගුරුවරු ලෝකයේ ජීවත් විය හැකියැයි මම කිසිදිනකත් නොසිතීමි. නමුත් එය බොරු කිරීමට සමත් වූ එක් ගුරුවරයෙක් පමණක් මට මගේ ජීවිත කාලය තුළ හමුවී ඇත.

ගුරුවරයා යනු ඇඳුම හෝ රූපය හෝ නොව හුදු මනුෂ්‍යත්වය දෑතින්ම පෙරටුකොට තමා දන්නා දේ ඊට වඩා සුන්දරව ලෝකයට දානය කරන්නෙකි.
මගේ ගුරුවරයා පිළිබඳව කීමට සුදුසුම පුද්ගලයා මම නොවියහැකි වුවද ඒ වෙනුවෙන් වෙන එකෙකු ඉදිරිපත් වන තුරු කල් මැරීම මම නොකරමි..එය බොහොම ගෞරවයෙන් කළ සියලු අවස්ථා හීදී මම දෝෂ දර්ශනයට හසු වුවද... (අදත් මම එයම බලාපොරොත්තු වෙමි.)
මම එය නොපැකිළ සිදු කළෙමි.

නිවැරැද්දෙන් වැරැද්ද හඳුනා ගන්නා සැටි ද, ලෝකයේ කපටි කම්ද, ගුණයහපත් කම්ද, එබ්‍රහම් ලින්කන් කිවූ පරිදි තම පුතුට ඉගැන්වීමට ඕනෑවූ සියල්ලම ද මගේ පියාගේ අනුදැනුමක් හෝ නැතිව වුවද මට උගන්වන්නට එතුමා ගත් උත්සාහය මම කිසි දිනෙක ලගු කොට නොතකමි.




විටෙක තරවටු කරමින්ද, විටෙක බොහෝ කරුණාවෙන්ද, විටෙක රිදවමින්ද, විටෙක උපහාසයෙන්ද, විටෙක දඬුවම් කරමින්ද, විටෙක විහිලු තහලුවෙන්ද, එතුමා අපට ඉගැන්වූ හා අදටත් උගන්වන ආකාරය සූක්ෂමය.විශිෂ්ටය.සිත්ගන්නසුළුය.


අප කරන ලද බොහෝ අකටයුතුකම් මැදහත් සිතින් ඉවසමින් අප වෙනුවෙන්ම සෑහෙන දුක් උහුලමින් අප ආරක්ෂා කරන්නට (මා ආරක්ෂා කරන්නට) හැකි වූ මා හඳුනාගත් ගුරුවරයෙක් වී නම් ඒ අපේ ගුරුවරයා ම පමණි.


අප යා යුතු මග පිළිබඳව නිශ්චිතව කිසිම බලපෑමක් කිරීමට ඔහුට කිසිවිටෙකත් වුවමනා නොවීය. ලෝකයට මෙතෙක් වැදගත් නොවූ එහෙත් මුලු ලොවටම වැරදුණු තැන් බොහෝමයක් අපට උගන්වා, ඉතා නිවැරදිව විශ්වාස කටයුතුව ලෝකය දෙස බැලීමට අපට ඉගැන්වීමට ඔහු දැරූ වෙහෙස වචන වලින් විස්තර කිරීමට මම සදාකාලිකවම අපොහොසත් වෙමි.


කාඩ්බෝඩ් වීරයන්ගෙන් සැබෑ වීරයා ආරක්ෂා කර ගත යුතුව ඇති බවද, පෙනෙන ගොදුරු සොයන්නාට වඩා නොපෙනී එන ගොදුරු සොයන්නාට අප ග්‍රහණය විය හැකි බවද, සබැඳීන් බහුතරයක් මඟ හැරුණු අධ්‍යාපන රටාවක දැනටමත් අප වල්මත් වී ඇති බවද, අනාගතයට පිය නගන වාරයක් පාසා එය දෙගුණ වන බවද, අනාගත පරපුරට සියල්ල මුල සිට ඉගැන්වීමෙන්...යළිත් ලෝකය දුවන්නංවාලේ දිවීම පසෙක තබා කල්පනා කරනු ඇති බවද, සියල්ල පිළිගැනීම පසෙක ලා සත්‍ය වෙනුවෙන් මියෙන මොහොත දක්වා තර්ක කළයුතු බවද, පිළි නොගන්නන් ඉදිරියේ නිහඬ විය යුතු බවද,ඔවුන්ට විහිලු කළයුතු බවද ගුරුවරයා අපට ඉගැන්වූ බව සාරංශ කරන්නේ ඔබේ ඉගෙනීමට එයින් පිටිවහලක් වෙතැයි මම සිතන හෙයිනි.


කිසිවෙක් කිසිම මොහොතක අත් නොහැරිය යුතු බවද, නතර වුණු ඔරලෝසුවක වුව දිනකට දෙවරක් හරි වේලාව පෙන්වන බවද ඔහු අපට ඉගැන්වූ බව මතකය.. ප්‍රායෝගික ලෝකයට පිවීසීමට ඉගෙන ගතයුතු බවද, ඉගෙනීම පමණක් කොට එය ප්‍රයෝගිකත්වයට නොගෙන යාමෙන් ලොවට කිසිඳු ඵලයක් නොලැබෙන බවද, ඉගෙනීමෙන් තොරව ක්‍රියාවට නංවන බොහෝ දේ භයානක ප්‍රතිඵල ගෙනවිත් ලොවක් විනාශ කරන බවද ඔහු අපට ඉගැන්වීය.


දැන් ඔබ පවසාවි... මේ කිසිවක් මුලින් කීවේ ඔහු නෙවී... මේ සියල්ල මහා විද්වතුන් පැවසූ දේ කියා... නමුත් එතුමා මේ දේ දැන ඉගෙන මට පැවසූ හෙයින් අප අදහන්නේ මේ ඔහුගේ වාක්‍ය ලෙසයි.. බොහෝවිට දේව වාක්‍ය ලෙසිනි.


නීතිය ඉගෙන ගත් වුන් හේතු ප්‍රකාරව නීති කැඩුවාට කමක් නැතැයි අපට ඉගැන් වූ නිසාම අපි නිවැරදිව විය යුත්ත සොයා ගියෙමු ... එය පුදුමාකාර ඉගැන්වීම් රටාවකි..


අප කළ‍ වැරදි තරමටම ... මා කර ඇති වැරදි වැඩි විය හැක... ඒ කිසිවකට ගුරුවරයාගෙන් සමාව ඉල්වන්නට තරම් මම නුසුදුස්සෙකු බව මම දනිමි... නමුත් ඒ වෙනුවෙන් එතුමාගේ සදාකල් අනුකම්පාව ලැබෙනු ඇතැයි ද අපේක්ෂා කරන්නෙමි.විරුද්ධ මානසික කැරැල්ලකට හසු වී මතවාදීමය ප්‍රකම්පනයකට හසුවූ කෙනෙක් සියල්ලෙන් මිදී ලෝකය දකින සේ අද මම ලෝකය දකිමි....නමුත් අද මම විසින් අවිශ්වාස කළ ගුරුවරයාව මා විසින්ම මට වඩා විශ්වාස කිරීමට පෙළඹී සිටිමි.


මම ටෙට්සුකී හෝ එළිසබත් ඇලන් හෝ අල්තිනායි නොවෙමි..මම ඔවුන් තිදෙනාගෙම සෙවනැල්ල හිමි පොලියානා වග වරෙක මිතුරියක් පැවසීය..මා එසේ විය හැක.
නමුත් මගේ ගුරුතුමාට මා ඒ කිසිවෙකු නොව නෙරංජි ය.


මම දන්නා වූ අග්‍රම ඵලය බුද්ධ යන්න පමණකි.. යම් බුද්ධ සසුනක නිර්වාණය අවබෝධ කොට ගෙන අප සැනහෙන දිනකදීත් ඔබ අපගේ ගුරුවරයාම විය යුත්තේය... මම සංසාරය විශ්වාස කරමි.
මා අතින් යළි කිසි දිනෙක ගුරුවරයෙකු ගැන නොලියවේවි. මන්ද හිමාලය ගැන ලියන අතර නමුණුකුල කිසිවෙකුටත් නොපෙනෙන හෙයිනි.




ඔබට ඇති ණය ගැති බවින් මිදීමට කළ යුතු එකම දෙය ඔබට වඩා හොඳ ගුරුවරයෙක් වී සමාජයට දායාද වීම පමණක් යැයි මම තීරණය කළෙමි.. එහෙත් ගුරුතුමනි , ඔබ අභිබවන්නට මට හෝ මා වැනි කිසිවෙකුට මරණ මංචකයේදීවත් හැකීවේද? ඒ සඳහා ද එකම එක පිළිතුරකි.. නැත.
එහෙත් මම හැකි පමණ උත්සාහ කරමි. මා පතන ලද සියලු
ජයග්‍රහණයන් අත් පත් කර ගත් දිනට මා ඔබ වෙතට එමි. එදිනට මම නියම ගුරුවරයා යනු කවුදැයි ලොවටම හඬඟා කියමි... එදාද අදද හෙටද....එදිනටද මට සිනාසෙන එවුන්ට හා මා වට්ටන්නට එන එවුන් කිසිවෙකුටත් මම තව දුරටත් බියනොවෙමි.
මන්ද යත් මට එදිනටත් ගුරුවරයෙක් සිටිනා බවට මම අදහන බැවිනි...




හැකි කෙනෙක් මේ ගීය අහන්න

නෙරංජි ඒකනායක

Monday, January 23, 2012

තවත් ආදරනීය සිංහල ටීච කෙනෙක් ගැන කතාවක්...


මේ අපේ සාමාන්‍ය පෙළට මුල් අත්තිවාරම වැටෙන 9 වසරේ පන්තිය.මීට පෙර වසර වලදී මුණ නොගැහුණු ගුරුවරියන් පිරිසක්.අලුත්ම අලුත් යෙහෙළියෝ.8 වසරේ ඉඳන් මා එක්ක මේ පන්තියට වැටුණේ කලින් 8 වසරේ හිටි අයගෙන් තුන් දෙනෙක් පමණයි.ඒ මම තෝරාගත් තාක්ෂණික විෂයය නිසා.දැක පුරුදු ඒත් මීට පෙර කතා බස් නොකරපු පිරිසක්.පරිසරය සම්පූර්ණ ආගන්තුකයි.කලින් කණ වැකුනු අයුරින් නොයෙකුත් අනවර්ථ නාම වලින් හැඳින්වුණු පොදුවේ අපට ඉහළ පන්තිවල ශිෂ්‍යයාවන් නපුරු ලෙස පිළිගත් ගුරුවරියන් පිරිසකගෙන් සමන්විත වුණු 9-H පන්තිය.සතිය දෙක ගෙවුණා.අලුත් මිතුරු හවුල් ගොඩ නැගුණා.එතකොට අපේ ගුරුවරියො..යකා කියන තරම් කළු නැහැලුනේ.


මේ මගේ ආදරණීය සිංහල මිස්.

ඔසරි පොට කර වටා දවටගෙන හුණු කූරක් අරන් හැඩකාර අත් අකුරු වලින් කළු ලෑල්ලේ මාතෘකාව ලියලා මිස් පාඩම පටන් ගන්නවා.

දරුවනේ..

මිස් අපිව අමතන හැටි.

"මේ බල්ලා බන බදාදාවා රිය පොළ ට එනවා" 
මිස් වාක්‍ය වෙන් කරන හැටි කියනවා.
වියරණ,තද්ධිත සමාස ප්‍රත්‍ය අතරේ ප්‍රායෝගික ජීවිතයේ පිටුවකුත් අපිටත් නොදැනෙන්න පෙරළනවා.


අවසන් කාල පරිච්ඡේද කියන්නේ අපිට බොහොම නිදිමත වෙලාවක්.බදාදා අවසන් කාල පරිච්ඡේද දෙකම වෙන් වෙලා තිබුණේ සිංහල සාහිත්‍යය සඳහා.මිස් එක්ක ඉන්දැද්දී මේ කාලය ගත වෙනවා අපට දැනෙන්නේ නෑ.


මිස් එක්ක අපි යනවා ගුත්තිල පඬිතුමා වීණා වයන හැටි බලන්න.එහෙමත් නැති නම් සැළලිහිණි සන්දේශයේ සැළලිහිණියා වෙලා අපිත් පියාඹනවා.
"මහෞෂධ පඬිතුමා අනේ මේ කාලේ හිටියා නම්" සියුම් උපහාසාත්මක හිනාවක් දෙතොල් අතරේ රඳවාගෙන ඇය උම්මග්ගේ විචාරනවා.

"අපේ අම්මා ඉන්න කාලේ අපි සහෝදර සහෝදරියෝ දහ දෙනාම ගමේ එකතු වුණාම......" තල මලේ වරුණ කියන ගමන් මිස් අපිවත් මිස්ගේ අතීතෙට ඈඳා ගන්නවා..සහෝදර බැඳීම් ගැන අපි හිතෙන් හිතනවා..
චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ කවි පන්තියක් විචාරන ගමන් මිස් මෙහෙම කියනවා.

 "දරුවනේ..මෙතුමා අතින් අපේ ජාතික ගීය ලියැවුණා නම් ඒක දැන් තියෙන එකට වඩා බොහොම අපූරු වෙන්න තිබුණා".
තවත් විටෙක පාඩමක් අතරේ ජීවිත පාඩම් අතගාමින්...

 "දරුවනේ මේ තාක් කාලෙකට මම කියවලා තියෙන පොත් වලින් හොඳම පොතක් සැබෑ මිනිසකුගේ කතාව.."මොහොතකට අපි ඉන්නේ  අලෙක්සේයි එක්ක.
පාසල අවසන් බව හඟවන සීනුව නාද වෙද්දී අපි හිතනවා අනේ තව ටිකක් වෙලා තිබුණා නම් කියලා.


සිංහල වලට කොච්චර කැමති වුණත් ඒ කාලේ මට රචනා, විචාර ලියනවා කියන්නේ එපාම කරපු වැඩක්.මිස් පැවරුම් වලට දෙන විචාර, රචනා මම කවමදාවත් ලියන්නේ නෑ.මිස් පොත් ලකුණු කරපු දාටත් මම කොහොමම හරි ගැලවුණා.9 ඉඳන් 11 වසර වෙනකන් මුළු කාලේදී ම මම රචනා විචාර ලියලා ඇත්තේ 10 සැරයකටත් වඩා අඩුවෙන්, ඒ වාර විභාග වලදී විතරයි.

අපේ පිළිතුරු පත් අපි හඳුනා ගන්නේ පාසලට ඇතුළත් වීමේ අංකයෙන් නිසා නම් සඳහන් වෙන්නේ නෑ.ලකුණු කරපු පිළිතුරුපත් අතැතිව එන මිස් ඒවා ගැන සමාලෝචනයක් කරනවා.
දරුවනේ..මේ සමහර උත්තර පත්තර වල තියෙනවා මට මීට කලින් පොත් බලද්දී මට කවමදාකවත් අහු නොවෙච්ච ජාතියේ හොඳ ලකුණු දෙන්න පුළුවන් විදියේ රචනා.ඒත් පන්තියේදී නම් මේ හොර කෙල්ලන්ගේ පොත් මට අහු වෙලා නෑ.මිස් හොරැහින් බලන ගමන් කියනවා.
සමහර උත්තර පත්තර වල අකුරු කෑලි.ඒවා බලන්න මම කණ්ණාඩි දෙක තුනක්වත් දාන්න වෙනවා.යමක් ලියන කොට මේ වයසක මං ගැනත් හිතන්න දරුවනේ..
මිස් දේශනාවක් කරනවා අපට ආයෙත් අපි ගැන හිතන්න.උත්තර පත්තරේ ශෛලිය අනුව, අත් අකුරු අනුව එය අයත් කෙනා කියන්න මිස් දැනගෙන හිටියා.පොදුවේ හැමෝටම කියනවා මිසක් මිස් කවමදාවත් අදාළ තැනැත්තා නම් කරන්න උත්සාහ ගත්තේ නෑ.පන්තියේදී එහෙම කීවාට තනි තනිවම අදාළ අය කැඳවා අවවාද දෙන්න මිස් පසුබට වුණේත් නෑ..වාර විභාගෙදී විතරක් ලීවා වුණත් රචනාවට වැඩිම ලකුණු ගන්නා පිරිස අතර හැමදාමත් මම හිටියේ මිස් ගේ ඉගැන්වීමේ දක්ෂකම නිසාම වෙන්න ඇති.


9 වසරේ සිට 11 වසර තෙක් ගතවුණු ඒ අවුරුදු 3 ක කාලය ඇතුළත් මිස් ගෙන් අපි ලබපු පන්නරය, අපේ ජීවිත වලට ලැබුණු වටිනාකම් මෙවැනි පොඩි සටහනකින් කොහොම ලියන්නද?


උසස් පෙළ පන්තියේදී ඉඩ ලද හැම විටකත් පාසලින් සමුගත් පසුව පාසලට පා තැබී හැම මොහොතකමත් නොවැරදීම මිස් ව මුණ ගැහිලා පොඩ් වෙලාවක් හෝ කතා කිරීම මං වගේම මගේ යෙහෙළියන්ගේත් සිරිතක්. ඒ හැම වෙලාවකම සුපුරුදු ලෙන්ගතු කමින්, ආදරෙන් අතින් අල්ලගෙන මිස් කතා කරන හැටි මට මේ දැනුත් දැනෙනවා වාගෙයි.
අපි විතරක් නෙවෙයි,මිස්ගෙන් අකුරක් හරි ඉගෙන ගත් හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම මිස් ව මුණ ගැහෙනවා ඇති, ඒ කාලෙ වගේම අදත්.


ඒ කාලේ මිස් හරිම ලස්සනයි.දිග කොණ්ඩේ කැටි කරලා ගෙඩි ගහපු කොණ්ඩේ, එක අතක පටලව ගත්තු ඔසරි පොට, පපුවට තුරුලු කර ගනිපු පොත් මිටිය, හනි හනිකට කොරිඩෝව දිගේ මිස් පන්තියට එන හැටි මට තාමත් මතක් කර ගන්න පුළුවන්.


අවාසනාවකට 2002 වසරෙන් පසු නැවත පාසලට යන්න මට අවස්ථාවක් ලැබුණේ නෑ.දැන් අවුරුදු 10ක් ගත වෙලා.මිස්ගේ දුරකතන අංකය තාමත් මතකයෙන් කියන්න පුළුවන් වුණත්, ලිපිනය දැනගෙනත් මිස් ගැන කිසිම දෙයක් අද වෙනකොට මම දන්නේ නෑ.අඩුගානේ මිස් තාමත් පාසල් එනවාද නැද්ද කියාවත් මම දන්නේ නෑ.කොච්චර ගුණමකු කමක්ද?


ඉස්සරට වඩා හැඩ රුවින්,බාහිර ස්වරූපයෙන් අපේ මිස් වෙනස් වෙලා ඇති.ඒත් අවුරුදු 10කින් පස්සේ වුණත් අද හෙට දුරකතන ඇමතුකින් ඇය ඇමතුවොත් එදා වගේම සුපුරුදු ලෙන්ගතුකමින් ඇය කතා කරයි.
ඒ ඇය අපේ ආදරණීය සිංහල මිස්, අපට හැමදාමත් දයාබර අපේ සෝමා හේරත් මිස් නිසාම යි.

මේ කතාව අපිට ලියා එව්වේ : 

නම කියන්න අකැමති අක්ක කෙනෙක්. ඒත් අක්කෙ ඔයාට ගොඩක් ස්තූතියි මේ ලස්සන සටහනට ...

Wednesday, January 18, 2012

උණු වතුර බෝතලේ නැතුව ඉස්කෝලෙ එන්න එපා !

මේක නම් ඇත්තෙන්ම 'මගේ ආදරනීය ටීච' කියන හෙඩිමෙන් දමන්න හැකි කතාවක් නොවෙයි. ඒත් ගුරු සිසු ජීවිතේට වැදගත් ලිපියක්. මේ ලියමන එව්වේ 'අසරණයා' ....
 

තුන වසෙරේ අවසාන වාරේ නිවාඩුවෙන් පස්සේ අලුත් වසරකට අලුත් පන්තියකට කට්ටියම මාරු වුනා.ඒ  මාරු  කරපු විදියට තුන වසරේ මාත් එක්ක හිටමු හොඳම යාලුවෝ හැමෝම එක එක පන්තිවලට බෙදිලා ගියා.එවකට කුලෑටි ගති හොදටම තිබුණු මම අලුත් යාලුවෙක් හොඳම යාලුවෙක් කරගන්න  ගොඩක් කාලයක් ඉන්න වෙනවා කියල මං දැනගෙන හිටියේ.මේ අවුරුද්ද පටන් ගද්දි මට කවදාවත් හිතුනේ නැහැ. මේ පාසල් ගමන මේ තරම් දුක්කිත කටුක වේදනා කාරී දෙයක් වේවි කියලා.පහ වසරේ ශිෂ්සත්වේ   කොහොම හරි පාස් වෙන්නලු අම්මගේ කුන්චනාදේ හැම දාම අහල මගේ කන් දෙක පිරිලා.තුන වසරේ හැම දාම පළවෙනි තුන් දෙන අතර හිටපු මම ශිෂත්වේ   පාස් වෙයි. වැඩිය මහන්සි කරන්න එපා කියලා අපේ පුංචි අම්මට කියනවා මට ඇහිලා තියෙනවා.එහම හැකියාවක් තිබුණු කෙනෙක් හතර වසරට ගියපු හැටියේම හරි කරදර.


අපේ පන්ති බාර  මිස් වුනේ "වජිර" මිස් එයා මහතායි.හැම වෙලවෙක කලේ  කොන්ඩේ පීරන එක සාරියේ රැලි හදන එක,තොල් දෙක දික් කරලා තොල් හැඩ  කරන වගේ දේවල්.අපි හතර වසරේ හිටියට අපි ඉස්සරහ හැසිරුනේ  13 වසර අයියිල ඉස්සරහ 11 වසර අක්කල හැසිරෙන විදියට.දැන් නැතුවට දැන් අහව්දෝ වගේ.ඒ කලේ මට වාසය 9 ක් වෙච්ච පොඩි එකෙක් ඒවා. ගැන තේරීමක් තිබුනේ නැහැ.  මිස් ගේ මේස උඩ වුණුවතුර  බෝතලයක් නිතරම තියෙනවා.පන්තියේ ළමයි 52 ඉස්සරහ තනියෙන් බොන්නේ හරි අමුතු දෙයක්  විදියට .ඒ බොන ගමන් ළමයි එක්ක කියනවා එකේ වටිනාකම ගෙදර ඒවා ගොඩක් තියෙනවලු හතර වසෙරේ පොඩි වුන් වෙච්ච අපිත් එක්ක එයාගේ පුරාජේරුව කියවනවා අපිට මොලේ දෙයක් තේරෙන්නේ නැහැ.හිටපු  ගමන් කවි සින්දු තාලෙට කියනවා අහන් ඉන්න බැහැ.එහෙම කියලා ඉස්සරහ පේළිවල ඉන්න ගැණු ළමයින්ගෙන් අහනවා ලස්සනයි ද?. අපිටනම් හොඳටම තේරුණා කිසිම තාලයක් තිබුනේ නැහැ කියලා.


පාට පැන්සල් වලින් අපි චිත්‍ර ඇන්දට එයා කළු පට පාට පන්සලේ තුඩට කෙල ගාල අහි බැමි පාට කරනවා.අපිට ඒවා මැජික් වගේ උනාට සමහර ගැණු ළමයි  ඒවා ගැන කතා වෙනවා.අපිනම් කලේ  කළු පට පාට පැන්සලෙන්  රැවුල වගේ ඇඳගෙන  ලග ඉන්න කෙනා භය කරන වගේ සිඟිති වැඩ.ඉංග්‍රීසි නැතිව අනිත් හැම විෂයම ඉගැන්නුවේ මේ මේ වජිර මිස් ඉන්ටවල් එකට පන්තියෙන් එලියට යද්දී තව ගැණු ළමයෙක් මිස්ගේ පස්සෙන්  යනවා පඩිපෙළ බහිද්දී සාරි පොට පඩි පෙළ දිගේ බිම  අතිල්ලිලා සරි පොටේ කුණු ගැවෙන නිසා එක උස්සගෙන පල්ලහට බහිනකන් කවුරු හරි ගැණු ළමයෙක් අපේ මිස්ගේ පස්සෙන් පඩිපෙළ ඉවර වෙනකන් බහින්න ඕනේ.හරියට පල්ලියේ චාරිත්‍ර ඉවර වෙලා දෙවන මනමාලි දිග සාරි පොට අල්ලන් යන වගේ. මිස් නම් කියන්නේ පොත්  ටිකයි බැග් එකයි නිසා සාරි පොට අලගන්න බැහැ කියලා.

ඒ කාලේදී මං  පන්තියේ මැද පේලියේ හිටියේ.මුළු පන්තියටම තිබුනේ එක කුමාරෝදය සිංහල පොතයි.ඒ අපේ අම්ම ශිෂත්වෙට මාව පුහුණු කරන හිතාගෙන කොළඹින් ගෙනල්ල දුන්නේ පුංචිට කියලා.අපේ පන්තියේ ඒ කලේ පොරක් කියන්නේ ගානක් දුන්නොත් ඉස්සෙල්ලම පෙන්නන කෙනා එහෙම නැත්නම් සිංහල පැවරුමක් දුන්නම ඉස්සෙල්ලම පෙන්වන කෙනා.පොඩි කලේ ඉඳලම  කුලෑටි ගති තුබුනට ඉගන ගැනීමේ හැකියාවක් තිබුනා.ඉතින් මටත් මුල් 5 දෙන අතරේ පොත් පෙන්නන්න හැකියාවක් ලැබුන.කාලයක් යද්දී තවත් ඉක්මනින් පෙන්වන්න ඕන නිසා  පළවෙනි පේලියට ආවා.


එදා දවස මගේ ජිවිතේට වෙනසක් වෙයි කියලා හිතුනෙම නැහැ. කවදාවත් නැතුව ෂර්ට්  එකේ කන පිට ඇඳලා.මේස් දෙක ජාති දෙකෙන්.ඒ හැම දෙයක්ම හදාගෙන ගෙදරින් පිටත් වෙද්දී ගෙදර මායින් වැටේ පොල්කිච්චෙක් වහල උදේ පාන්දරම.පොල් කිච්චෙක් දැක්කහම මුසිලයිලු දෙන්නෙක් දැක්කොත් වාසනාවන්තයි ලු.මං කවදාවත් දෙන්නෙක් එකම සැරේ දැකල නැහැ.තනි එකා දැක්කොත් ළඟම ඉන්න කෙනාට පෙන්නන කියලා ඉස්කෝලේ ළමයි කතා වෙනවා ඇහිලා තියෙනවා.එත් මට ඌව පෙන්නන්න කවුරුවත් ලග නැහැ අක්කා මං පරක්කු නිසා මාව දාලා ගිහිල්ලා.අමාරුවෙන් දුවල දුවල බස් එක අල්ලගත්ත.වෙනද වගේම කඩිසරව ඉස්කෝලේ වැඩ කරා හැම දෙයක්ම සාමාන්‍ය වගේ.සිංහල පාඩමක් කියලා දීලා පැවරුමක් දුන්නා ඒක ඉක්මනින් කරලා දෙවෙනියට පොත පෙන්නුවත් මං ලියපු දේ වැරදි. අකුරක් වැරදියට  ලියල තියෙන්නේ.අයෙත් ඒක  නිවැරදි කරගෙන එද්දී ළමයි ගොඩ දෙනෙක් ගුරු මෙසේ වටෙ පිරිලා.පොත පෙන්නන කට්ටිය පොර කන අතරේ මාත් එතනට ලං වෙද්දී     "දඩාස්"..--   ගාල සද්දයක් ඇහිලා බලද්දී  මගේ කකුල් දෙක ලග මිස්ගේ වටිනා වුණු වතුර බෝතලේ.බිම වැටිලා තියෙන දෙයක් උඩකින් අරන් තියන්න කියලා කියලා දුන්නෙම මං හෝඩිය පන්තියට ගියපු අලුත.මගේ අතේ මිස්ගේ බෝතලේ තියෙද්දී මිස් එක්කල අනෙත් හැමෝම මගේ දිහා බලාගෙන.මට තේරෙන්නේ නැහැ ඇයි කියලා.
පුටුව පස්සට දාලා නැගිට්ටා මං ඉන්න තැනට ඒ පිම්මෙන්ම ඇවිත්  කන මිරිකන ගමන් "මොකක්ද  මෝඩයෝ කලේ" මං මොනවත් දන්නේ නැහැ.එත් මහා දරුණු අපරාධයක් කරපු විදියට මට බැන්නේ.එත් මං කලේ බිම වැටිලා තිබුණු උණු වතුර බෝතෙල අහුලලා මෙසේ උඩින් තියන්න හදපු දේ විතරයි.මම නෙවෙයි මිස් කියල මට එක වතාවට වඩා කියන්න තරම් ශක්තියක් තිබ්බේ නැහැ.කවුරු බිම දැම්මත් වරදකරු වෙලා තියෙන්න මම.එක ඇතුලේ කැලි හෙල්ලෙනවා.මගේ පාසල් ගමනේ නරක දසාව ලැබුවා."හෙට එද්දී වුණු වතුර බෝතලයක් අරන් එන්න නැත්නම් ආයේ ඉස්කෝලේ එන්න එපා" කියල තර්ජනය කලා.මෙතෙක් කාලයක් මිස්ටලම සින්න වෙන්න ගියපු කුමාරෝදය පොතෙන් මට ගුරු මෙසේ ලග ඉඳන් විසිකර මගේ මෙසේ උඩට.වැඩ ඔක්කම නවත්වල පල්ලෙහට ගියා ප්‍රින්සිපල්ට කියන්න.ටික වෙලාවකින් පහල පන්තියේ ළමයෙක් ඇවිත් මට කතා  කර.මං පහලට යන්න නැගිට්ටා. ඇවිද ගන්න බැහැ දණහිස් දෙක ළඟින් කකුල්  නැවෙනවා ඇඟ පන නැති වෙලා වගේ වෙවුලනවා.හොඳ වෙලාවට මිස් ප්‍රින්සිපල්ට කියන්න කලින් වෙනත් මිස් කෙනෙක්ට කියල.දෙන්න කතා වෙලා මට කිවුවා ඔයාට ප්‍රින්සිපල්ට කියල ගස්සන්න බැහැ පව් නිසා එක හින්ද  අලුත් එකක් ගෙනත් දෙන්න කියල.එත් මං ඊට පස්සේ දවසේ ඉස්කෝලේ ගියේ නැහැ අලුත් වුණු වතුර බෝතලයක් නැති නිසා.

                        
අනිත් දවසේ පන්තියට ඇතුල් වෙද්දීම ඇහුවේ "කෝ  ගේනවද" කියල නෑ කිවුවම "එහෙනම් ඇයි ආවේ ඉන්නවා එළියෙන් එන්න එපා ඇතුලට" ජිවිතේ පලවෙනි සැරේට මාව පන්තියෙන් එලියට දැම්මේ.ටික වෙලාවකින් අපේ ගෙවල් ලග අම්මලත් එක්ක හිතවත් මිස් කෙනෙක් දැක්කා බැග් එකත් එක්ක මං එළියේ කොරිඩෝවේ ඉන්නවා.මගෙන් විස්තර ඇහුව මං සියලු විස්තෙරේම හිතේ දුකට කියල දැම්මා.ඒ මිස් අපේ ගෙදරට කියල අපේ ගෙදරින් ඉස්කෝලෙට ඇවිල්ල ප්‍රින්සිපල්ට කියල. ඒ හැමෝම අතරේ වුණු කිසිම දෙයක් මං දන්නේ නැහැ.ඊට පස්සේ මගෙන් වන්දිය ඉල්ලුවේ නැහැ.එත් මට මුළු පන්තියෙන්ම කොන් කරා මගෙන් පළි ගත්තා.පිටි පස්ස පෙලියටම දැම්මා කගේ හරි පුටුවක් නැති වුනොත් මාව නැගිට්ටවල මගේ පුටුව ඒ ළමයට දෙනවා.ඊට පස්සේ ඉස්කෝලේ වටේම ගිහින් පුටුවක් හොයාගෙන එන්න ඕනේ.අල්ලපු පන්තියේ ළමයි ඩෙස් පුටු හොරෙන් අරන් ගියත් මගේ ඩෙස් එක තමා නැති වුණු  කෙනාට  දෙන්නේ.මගේ නම දිය සායම් වලින් ලියල තිබුනත් මං ඩෙස් පුටු හොරකන් කරලා කියල මෙගෙන් ගන්නවා.මාස ගානකට පස්සේ පන්තියට අලුත් ළමයෙක් ආව එයාගේ නම සම්පත්.අලුත් කෙනක් ආවම පිලි ගන්නේ ඔහොමද කියල මගේ පුටුවයි ඩෙස් එකයි දෙකම සම්පත්ට දුන්නා.ඉන්ටෙවල් එකේදී එකක් හොයාගන්නකන් කොරිඩොවත් පන්ති කාමරයත් වෙන් වෙන කොට බිත්තිය උඩ පොත  තියාගෙන ලියන්න ගත්තා.එත් මට එදා  ඩෙස් එකක් විතරයි හොයාගන්න පුළුවන් වුනේ දවසමේ හිටගෙන  හොයන ආපු ඩෙස් එකේ පොත තියාගෙන ලිවුවේ.ලග ඉන්න කෙනා පුටුවෙන් ටිකක් දුන්නත් මිස් ඒ දෙයට කැමති උනේ නැහැ මාත් එක්ක තියෙන තරහ නිසා වෙන්න ඇති.


තව  දවසක් මාව අයෙත් පන්තියෙන් එලියට දැම්මා මගේ කොන්ඩේ වැඩියි කියල.ඒත් මට වඩා කොන්න්ඩේ වැවිලා තිබුණු කිහිප  දෙනෙක් පන්තියේ හිටියත් පොල් තෙල් ගාල කොන්ඩේ පැත්තට පීරලා හිටපු මාව පන්තියෙන් එලියට දැම්මේ වුණු වතුර බෝතලේ පළිය යන්න කියල මට තේරුණා. පන්තියේ  හැමෝම ඉස්සරහ මාව සමච්චල කිරීම සාමාන්යෙන් තිබුනා.ඉඳල හිටලා අද්‍යාපන පරීක්ෂකයෝ ආවත් මාව දුරුවලයි කියල පැමිණිලි කරනවා මගේ පොත් වල රතුපැනෙන් ලොකුවට වැරදි ලකුණු කරනවා. ඒ වෙද්දී මගේ ඉගන ගැනීමේ ආසාව නැති වෙලා තිබුනේ මටත් නොදනිම.දිගින් දිගටම විභාග වලට ලකුණු අඩු වෙද්දී සෙල්ලම් කරන කාලේ අඩු වුනා.නිදහස නැතව ගියා අම්මගේ තරවටු එන්න එන්න වැඩි වුනා.ඉස්කෝලෙදි විඳින අපවද විඳලා ගෙදර අපුවහමත් අම්මගේ තරවටු වලත් කෙළවරක් නැහැ.ඒ වෙද්දී හැම අතින්ම  මං දුරුවල වෙලා හිටියේ .අම්මගේ සිහිනයක් වෙලා තිබුණු මාව ශිෂත්වේ පාස් කරන සිහිනය මට  වගේම අම්මගෙනුත් හිතෙනුත් නැති වෙලා ගියා. 


මේ හැම දෙයක්ම ඉවසගෙන ඉස්කෝලෙට ගියේ ගෙදර හිටියත් කිසිම වෙනසක් නැති නිසා.මේ කලේ වෙද්දී පළාත් අද්‍යාපන අද්යක්ෂ අපේ තාත්තගේ ලගම නෑයෙක්.ඉස්කෝලේ ප්‍රින්සිපල් අම්මගේ බාප්පා  කෙනෙක්.ඉස්කෝලේ උගන්වන ගුරුවරු කිහිප දෙනෙක් ලොකු අම්මගේ සම කලිනයෝ.මේ හැම දෙයක්ම දැනගෙනත් මට ඉස්කෝලේ වෙන මේ අසාධාරනකම් ගෙදරට කිවුවේ නැහැ.එහෙම කිවුවනම් මට තවත් ප්‍රශ්න ඇති වෙයි කියල බයට.කාලෙකට පස්සේ එදා විසිකරලා ගහපු කුමාරෝදය පොත අයෙත් මගෙන් ඉල්ලගත්තා.මං එක හරි ආසාවෙන් අයෙත් මිස්ට දුන්නේ ඊට පස්සේ ඉඳලවත් මට වෙනස් කම් කරනකන් නැහැ කියල.එත්  නැවතුනේ නැහැ .මගේ පුටුව නැති වෙන එක  සාමාන්‍ය විදියට සිදු වුනා.මේ හැම දෙයකටම මුල මිස්ගේ වතුර බෝතලේ බිම තිබිල අහුලපු නිසා කියල මට නිතරම හිතුනා.මිස් කරන සමහර විහිළු මිස් පන්තියේ නැති වෙලාවේදී ගැණුලමයි  කලා.ඒවාට එරෙහිව දෙයක් කිවුවොත් හරි කලත් හරි මට දනගහගෙන ඉන්න වෙනබව මං දන්නවා.පුළුවන් හැම වෙලාවේම ඉවසගෙන මං හිටියේ ඒ කලේ තිබුණු මගේ කුලෑටි ගතියට.දවක් මං තීරණයක් ගත්තා.හැම දාම ගෙදරින් දෙන සල්ලි වලින්  රුපියලක් දෙකක් ඉතුරු කරලා අලුත් වුණුවතුර බෝතලයක් අරන්දෙන්න එත් එක කරන්න බැරි වුනා.

තුන වසරේ අවසාන වාර විභාගේ පන්තියේ 2 වෙනියා වුණු මම හතර වසරේ අවසාන විභාගෙදි පන්තියේ ළමයි 52 අතරින් 41 වෙනියා වෙනකන් පහලට වැටුනා.එහෙම දුරුවල ළමයෙක් වෙද්දී අම්මා මාව ශිෂ්සත්වේ  පස් කරන අදහස අත ඇරලා සාමාන්‍ය වැඩ කරන්න පුළුවන් තත්වෙට ගන්න ලොකු උත්සහයක් ගත්තා.මේ විදියට 8 වසරට වෙනකන් පන්තියේ දුරුවල ළමයි 10 දෙනා අතර නිතරම මං හිටියා.පන්තියේ මොන වරදක් වෙලා තිබුනත් අපි දිහා හැමෝම බලන්නේ අපරාධ කාරයෙක් විදියට.හැම විභාගයකදී  35 ත් 42 අතර මං නිතරම දෝලනය වුනා.ඒ විදියට 9 වසර අලුත් පන්තියකට ආවා.එතකොට අපේ පීරියඩ් 8 ම ගුරු වරු 8 දෙනෙක් උගන්වන්නේ.අපිට ඉංග්‍රීසි ඉගැන්නුවේ ඉන්ද්‍රානි මිස්.ඉස්කෝලේ හිටපු ගොඩක් සැර මිස් කෙනෙක්. දුරුවල ළමයි දිහා හැම ගුරුවරයෙක්ම බලන්නේ ටිකක් වෙනස් විදියට.හොඳ ළමයි වැරදි 100 කට අපේ  එක වැරද්දක් සමාන කලා.ඒ කලේ වෙද්දී මගේ කුලෑටි ගතිය අඩු වෙලා තිබුනේ.එක දවසක් ඉංග්‍රීසි පීරියඩ් එකේදී මාව පන්තියේ ඉස්සරහට ගෙන්නුවා.ඒ කලේ ගුරුවරුන්ගෙන් බැනුම් ඇසීම අවුවේ දන ගහගෙන සිටීම  සහ ගුටි කෑම ඉතා සුලබ දෙයක්.හැම දෙයකටම සුදානමෙන් දෙන දඬුවම බාරගැනීමේ සුදානමෙන් ඉද්දි හීනෙන්වත් හිතපු නැති දෙයක් සිද්ද වුනා.මගේ පොතක් පංතියටම පෙන්න උස්සල මේ වගේ පිලිවලකට වැඩකරන්න පුරුදු වෙන්න මාව ආදර්ශට ගන්න කියල පන්තියටම කිවුවා.පාසලේ වැඩ හරියාකාරව නොකරත් පොත් වලට පිට කවර දාන එකේ ඉඳල ඇතුලේ ලියල තියෙන දේ පවා පිලිවටල තිබුනා.උත්තර වැරදියට තිබුනත් කරන වැඩේ පිලිවලට කරන්න පොඩි කලේ තිබුණු පුරුද්ද ඒ වෙද්දීත් තිබුනා.


පිරිසක් ඉදිරියේ සමච්චලයට ලක්වීම සාමාන්‍ය දෙයක් වෙලා තිබුනු මට අවුරුදු 5 කට පස්සේ මාව පිරිසක් ඉදිරියේ ඇගයීම මට නොපුරුදු දෙයක් වුනා.මොනයම් දෙයක් නිසා මිස් මගේ අනිත් විෂයන් ගැනත් හොයල බැලුවා.ඒ කලේ වහ කදුරු වගේ වෙලා තිබුණු ඉංග්‍රීසි වලට ආසාවක් ඇති වුනා.පොතේ පිලිවලට තිබුණු  ප්‍රශ්නවල ඉදිරියෙන්  තිබුණු කතිර ලකුණ වෙනුවට ඉඳල හිටලා හරි ලකුණක් වැටෙන්න ගත්තා.බැන බැන හිටපු ගුරු වරු මං ගැන වෙනදට වඩා දඩුවම්   ලිහිල් කරා.ටික කාලයක් හද්දී කතිර ලකුණ අඩු වෙලා හරි ලකුණ පොත් වල අයෙත් වැටෙන්න වුනා.කලින් 42 වගේ  හිටපු මම පළමු 15 දෙන අතරට එන්න පුළුවන් වුනා. සාමාන්‍ය පෙළ විෂයන් 8 ම සමත් වෙන්න හැකියාව ලැබුනා.

මගේ ජිවිතේ හැරවුම්  ලක්ෂ වුණු ඉන්ද්‍රානි මිස්ගේ ඒ කෙටි වචන ටික මට මේලෝකේ  කිසිම වටිනා වස්තුක් සමග සමානකරන්න බැහැ.එකම පාසලක ගුරුවරු දෙදෙනෙක් එකම ළමයෙක් ගේ ජිවිත වෙනස් කරපු අපුරුව.අද මම කිසියම් තැනක ඉන්නවනම් එදා මගේ පොත ගැන කියල මාව අගයපු ඉන්ද්‍රානි මිස් නිසා කියල මට හැම වෙලාවේම හිතෙනවා.

කිසියම් ළමයෙක් දුරුවල වෙනවනම් ඒ ළමය දුරුවල වෙන හේතුව අපි නොදන්නා සිද්දියක් වෙන්න පුළුවන්.පෙනෙන දෙයට වඩා වෙනස් විදියට දකින්න.වජිරා මිස් ගැන මගේ හිතේ කිසිම වෛරයක් නැහැ මෙය කියන කිසිම කෙනෙක් ඇය ගැන වෛරයක් ඇතිකරගන්න එපා.!!


සටහන : අසරණයාගෙන්..


මුල් ලිපිය අවසර ඇතුව උපුටා ගත්තේ... මෙතැනින්

Sunday, January 15, 2012

ඈට තිබ්බෙ අපූර්ව සිනහවක් !

ඈට තිබ්බෙ අපූර්ව සිනහවක්. ඒ සිනහවේ පුදුමය තමයි ඒ සිනහව කිසිම දාක මැකිලා නොයන එක. ඉන හොඳට වැහෙන්න ඔසරිය ඇඳන් , අමුතු ලතාවකට ඇවිදිමින් හෙමින් හෙමින්, ඈ සිංහල පොත් මිටියත් තුරුලු කරගෙන පන්තියට එනවා. සමහර ටීචලා පන්තියට එනවා පේද්දි අපි කරන්නෙ මේස පු‍ටු පෙරලගෙන උන්නු තැන හොයන් දුවගෙන ගිහින් සීරුවෙන් සිටගන්න එක. ඒත් ඈ පන්තියට එද්දි පන්තියෙ ලමයින්ගෙන් 99% දෙනාගේම (මම හිතන්නෙ 100% දෙනාගේම) හිත්වල මල් පිපෙනවා. පිට්ටනිය දිගේ පෙනෙමින් නොපෙනෙමින් ඈ එනකොට , ටීච දැන් දොරෙන් එතියි එතියි මග බලනව. ඒක මහ පුදුම දෙයක්.. ! මහමායාවෙ ඉගෙන ගත්තු අවුරුදු 8 පුරාවටම මගෙ ලස්සනම සටහන් පොත සිංහල පොත. සටහන් විතරක් නෙවි, ගෙදර ඉද්දි සටහනේ අභ්‍යාසයට ගැලපෙන්න චිත්‍රෙකුත් අඳින්න මම ආස කලා. ටීච කියලා නෙවි. ඒත් ඒ ආසාව නිසාමයි. ටීචගෙ රතු පෑනෙන් 'ඉතාම හොඳයි' කියල ලියවගන්න තිබ්බ ආසාව. 


ඉතින් මගෙ ටීච. ආ ඈට තියෙන හිනාව තමයි ලෝකෙ ටීච කෙනෙක්ගෙ මම දු‍ටුව ආදරනීයම හිනාව. ඒක හිත පත්ලෙන්ම එන පුදුම හිනාවක්. සිංහල කියන්නෙ බෝරිං විශයක් නම් නොවෙයි මට කවදාවත්. ඒත් සිංහල විෂය මට රසවත් වුනේ නම් මහමායාවෙ මට ඉගැන්නුව ටීචර්ලා 3 දෙනෙක් නිසා. අද ලියන මගෙ ටීච තමයි මට 10,11 වසර වල සිංහල ඉගැන්නුවෙ.


ඈට හැම පාඩමටම අපිට කියාදෙන්න කතාවක් තිබ්බ. ඈ කියන කතා අහන්න අපි දැක්වුවෙ පුදුම ආසාවක්. අපිට පෙරලි පෙරලි හිනාවෙන්ට , මොකක්හරි කතාවක් ඇඟට පතට නොදැනී ලතාවට කියන්න ඈට තිබ්බෙ උපන් හපන් කමක්. ඒක බින්දුවක් හිනා නොවී ඈ ඇඟේ පතේ ගෑවී නොගෑවී ඔහේ කියල දානව. ඉතින් අපි හිනාවෙනව. ඇගේ සතුට තමයි ඒක.


සිංහල සාහිත්‍යය පොත කියන්නෙ මගෙ බයිබලය වගෙ එකක්. මම ගෙදරදි පාඩම් කරනව කියල කරපු එකම දේ තමයි, කැලේ පේන බැල්කනියෙ පු‍ටුවක කකුලුත් උඩට අරන් හරි බරි ගැහිලා රටට ඇහෙන්න මගේ රට, සැලලිහිණිය පාඩම් කල එක. ඈ අපිට පාඩම කියාදුන්නෙ රසවත්ව. කිසිම දාක මට සිංහල පන්තියෙදි නින්ද ගිහිල්ල නෑ. අපි කුවේණි කවි පන්තිය එක සුමේට ගායනා කරපු 11 වසරෙ කාලච්ඡේදය මට අද වගෙ මතකයි. එදා අපි කොච්චර ආසාවෙන් සමවැදිලා ඒ කවි ටික කිව්වද කියනව නම්, අපිකවි පන්තිය අවසන් කරද්දි එකම පිච් එකට පුදුම මධුර ස්වරයකට ඈගේ ලයාන්විත හඬටම සුසර වෙමින් දැහැන්ගත වෙමින් උන්නෙ. කවි ටික ඉවර වුනාම මට දැනුනෙ පුදුම දුකක්. ඈටයි, පන්තියෙ හැමෝටමයි ඒක එහෙමම දැනිලද කොහෙද, ඈ ඇහුව 'ආයෙ කියමුද?' කියලා. අපි එක සුමේට 'හා' කියල මුරගෑවා අද වගෙ මතකයි.


ඒ විතරක් නෙවි. එක දවසක්. චූටිම චූටි සිද්ධියක්. එදා ඈ වෙහෙස වෙලා හිටි දවසක්. ඒ නිසා පාඩම කියවන්න මහන්සි නිසා , 'කවුරු හරි නැගිටලා  පාඩම කියවන්න' .... ඈ එහෙම කියලා බලාගෙන හිටිය. ම්ම්.... මිනිත්තුවක් විතර ගත වුනා. ස්වභාවයෙන්ම කුලැටි ලමයින් ආඬි හත් දෙනාගෙ කැඳ හැලිය වගෙ , අනිකා දිහා බල බල හිටිය මිසක් කවුරුත් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුනෙ නෑ. ඈත් නිහඬව තවම බලන් ඉන්නව. අපිත් ඉන්නවා. කුචු කුචු ගාමින් වටපිට බලනව. එකපාරටම ඇගෙ ස්වරය වෙනස් වුනා. කටහඬට ඇඬුම් ආවා. 'මෙතන ඉන්න කාටවත් මම ගැන හැඟීමක් නැද්ද? මම මෙච්චර කියලා , කිසි කෙනෙක් මම ගැන හිතන්නෙ නැද්ද?' ඇගේ ඇස් වලට කඳුලුත් පිරෙනවා. ඒක අපි කවුරුත් නොහිතුව ප්‍රතිපලයක්. ඈ බැන්න නම් දුක නෑ. ඒත් ඈ එදාවත් වෙන කිසිම දාකවත් අපිට රවලවත් නොබැලුව ගුරු දේවතාවියක්. ඇගේ ඇස් වල කඳුලු පිරුනා. ඒත් ඈ බිම බලන් පාඩම කියවන්න පටන් ගත්තා. එක පාරම උපුලි නැගිට්ටා. පාඩම කියවන්න ගත්තා. ඈ වෙනදා වගෙ අපි එක්ක විහිලු කළෙ නැ. පාඩම සාමාන්‍ය ඒත් දරදඬු ස්වරයෙන් නිසි ලෙස කියා දුන්නා. අපි ඇගෙන් එහෙම පාඩමක් කිසිම දාක බලාපොරොත්තු වුනෙ නෑ. ඒත් මක් කරන්නද? ඒක අපෙ වරද... මම වටපිට බැලුව. මෙන්න පන්තියෙන් හරි අඩක්ම මිස්ගෙ හිනාව අතුරුදන්වෙච්චි දුක්බර මූණ දිහා බලාගෙන කඳුලු පෙරනවා. මාත් ඇතුලුව. මිස් වෙනද වගෙ එදා හිනා වුනෙ නෑ. ඈ ඉඳලා හිටලා හිනා යන එක දෙකක් කිව්වත් අපි හිනා වුනෙත් නෑ. ඔලුව බර වෙලා දුකෙන් පිරිලා.


ඒ අපි ඈට කොච්චර ආදරේද කියන එක , ඈටත් වඩා අපි අපිම අඳුනගත්තු  වටහ ගත්තු දවස. ඈ කාලච්ඡේදය නිමා වෙලා ගුරු කාමරයට ගියා. අපිට කතා කරගන්නට වචන නෑ. ඒත් දුක කියල නිම කරගන්නත් බෑ. අපිට සෑබෑ දේවතාවියක් වූ ඈගේ හිත රිදෙව්වට , අපි අපිටම දොස් කියාගනිමින් උන්නෙ. කාටවත් හිතේ දුකෙන් නිදහස් වෙන්නට බෑරි වුනා. පනස් දෙනාම පේලියක් හෑදිල ගුරු කාමරයට ගිහින් ඇගෙන් වැඳල සමාව ගත් හැටි මට අද වගෙ මතකයි. පිට්ටනියෙ ඒ කොනේ හිටන් මේ කොන තෙක් දිග සිසු පෝලිමක් ගුරු කාමරය වෙත, දවසෙ පන්ති පැවැත්වෙන වෙලාවක හැදිල තියෙනව දුටු අපෙ පන්ති භාර ගුරුතුමියගෙන් , පහුවෙනිද උදේ බැනුම් ඇහුවත් මතකයි. ඒත් ඒ බැනුම වගෙද ඇගෙන් සමාව අරන් හිත නිදහස් කරගත් එක.


ඈ කිසිදාක වචනයෙන් පාඩම් කියල දුන්නෙ නෑ. ක්‍රියාවෙනුයි අපිට පාඩම් කියල දුන්නෙ. ආදර්ශයෙන්. කිසිම දාක ඇගෙ වැඩ කොටස ගැන අපිට කියන්න කිසිදෙයක් තිබ්බෙ නෑ.


මගේ කවිපොත සහ ඈ මගෙ පොත පි‍ටුපස්සෙ ලිව්ව කවියත් මෙතනදි අමතක කරන්නම බැරි දෙයක්. 7 වසරෙ සිටම මම ලියන හැම කවියක්ම එකතු කල , දැනට කවි 200ක් විතර තිබෙන කවි පොත මගෙ ජීවිතෙ මම එකතු කළ වටිනම දෙයක්. ඉතින් කලින් කලට මේ පොත , මට සිංහල උගන්නන ගුරුතුමීට දෙන එක මගෙ පුරුද්දක්. ඈ ඉතින් මගෙ ඉස්කෝලෙ ලෝකෙ හිටි වීරවරියනෙ. ඇගෙ ස්ටාෆ් රූම් මේස පොඩ්ඩෙ මේ පල්ලෙහායින් තියන පොත නිතර තැන්පත් වෙලා තිබුනා. ඉතින් මේ පල්ලෙහා රූපෙ තියෙන්නෙ ඒ පොතේ ඈගෙම අකුරෙන් , මාව දිරි ගන්වන්නට ඈ ලියුව ලස්සන පැදි පෙළ... 



මේ වගෙ ලස්සන ජීවිතයක් ලද මට, අනේ අද මේ දැන් මැරුනත් දුක නෑ අප්පා. මම එකතු කළ සුන්දර අත්දැකීම්, සිහිවටන ඕනෙ තරම් ...ඉතින් යාලුවනෙ දැන් ඔයාල දන්නවා ඈගෙ නම. 

මගෙ ලෝකෙ හිටිය ආදරනීයම ගුරුතුමී.. සී ජයසේකර ගුරුතුමී. මහමායාවෙ මම දු‍ටු සුන්දරතම සිනහව හිමි ඇයට. හොඳම ඉගැන්වීම් ශෛලිය හිමිත් ඇයට. ලස්සනම හදවත හිමිත් ඇයට. සිංහල බසට මම පෙම් බඳිනවා නම් ඒ පෙමට මූලික වූ ගුරුතුමියන් 3 දෙනාගෙන් එක් ගුරුතුමියක් ඇය. අනෙක් ගුරුතුමියන් දෙදෙනා ගැනත් ලියනවා පසුවට.


ආදරනීය ගුරු දේවතාවියනි.. ඔබට නිදුක් නිරෝගී සුව පතමි...

ප.ලි. භාශිණි නංගිට පින් සිදු වෙන්න , මට ඈගෙ පින්තූරයක් හමු වුනා. මේ පින්තූරෙ දම්පාට ඔසරිය ඇඳන් ඉන්නෙ ඒ ආදරනීය ගුරුතුමී... 

Friday, January 13, 2012

සර් අපිට උගන්වපු විෂයෙ නම "ජීවිතය"..



කොහොමද ලියන්නේ.. මට ඉස්සරවෙලාම ආපු හිතුවිල්ල.. දිල්ෂාරා මේ ගැන කැමතිනම් ලියන්න කියලා මූනුපොතේ දාලා තියෙනවා දැක්කම මට ඉස් ඉස්සෙල්ලම ආපු හිතුවිල්ල ඒක.. ලියන්ට පුළුවන්කමක් නොතිබුනත්..ලියන්ට ඕන,අනිවාර්යෙන්ම.. නොලියන එක තරම් කුහක කමක් තවත් නෑ.. ඒත් කොහොමද..?????


ජීවිතේ මුනගැහුනු දහසක් මිනිස්සු අතරේ හමුවුනු හැබෑම මනුස්සයෙක් ගැන එක ලිපියකින් කොහොමද ලියන්නේ. ඇත්තටම කියනවනම් සෑහෙන්ට බොන්ට වෙන ප්‍රශ්ණයක්!


මෙහෙම කියමු..
මේ වෙද්දි මම වගේම ඔහුගෙන් එක ඉලක්කමක් හරි, හරි විදිහට ඉගෙන ගත්තු දාහක්...දහ දාහක් හෝ ඊටත් වැඩියෙන් ලංකාවේ වගේම ලෝකෙ පුරාම විසිරිලා ජීවිතේ ගැන තනිවමම ඉගෙන ගන්නව ඇති.. ඒ වගේම සර්ගෙන් පොඩි කනේ පාරක් ,ටොක්කක් හරි කාපු ඒ වගේ දෙතුන් ගුණයක ගෝල බාලයෝ පිරිසක් ඒ අහුමුළුවලම ඇති.. ඔව් සර්ට වඩා ගොඩාක් ඉහළ තැන්වල.. යාන වාහන, දැසි දැස්සෝ පිරිවරාගෙන..
ඒත් සර් තවමත් පුරුදු විදිහටම නාඳුනන මූණු එක්ක ඒ ලෙන්ගතු හිනාව දල්වගෙන ඉබිගමනින් යන බසයක නැගල නිසොල්මනේ ගමන යන හැටි අපි තවමත් දකිනවා..


පන්තියක ගුරුතුමියක් උගන්වද්දි හදිස්සියෙම කඩා පැනල දෙපිට කැපෙන කුණුහරුපයක් කියන අතරෙම, සර් පන්තිය දිහා බලල කියන්නේ "තොපි හෙට ටොයිලට් එකේ ලියයිනේ හුජ්ජා+.(ගුරුතුමිගේ නම) දාලානේ" කියාගෙන... "හුජ්ජා..." අපි ඒ දවස්වල සර්ට කිව්වේ එහෙම..
ටිකක් විතර කැත වචනයක් උනත් සර්ගේ ඇත්ත නමට වඩා සර්ව දන්න ගොඩ දෙනෙක් සර් හඳුනන්නෙ ඒ නමින්.. සර්ටනම් කොහොමටත් ඒක ප්‍රශ්ණයක් වුනේම නෑ..


සර්ගේ විෂයේ නම ගණිතය වුනත් සර් අපිට උගන්වපු විෂයෙ නම "ජීවිතය".
ජීවත්වීම කියන්නෙ ඊයෙවත් හෙටවත් නෙවෙයි අදයි කියන දේ සර් අපිට කියල දුන්න.. අඩුගානෙ එහෙමයි කියල දන්නවන්ට උත්සාහ කරා... (පොඩි වයසේ ඉඳපු අපිට ඒක ඒතරම්ම ඒ වෙද්දි නොදැනෙන්ට ඇති කියල දැන් හිතෙනවා..)


සර්ගෙන් ගුටියක් නොකා බේරුන එකම ගෝලයෙක්වත් සර්ට නැතුව ඇති.. සමහර එවුන් පුටුවෙ පස්ස තියන්ට බැරි වෙන තරමට සර්ගෙන් පොලු පාරවල් කාල ඇති.. (මං වගේම :)...) ඒත් ඒ හැමෝම මම දන්න තරමින්, සර්ට තවමත් ඒ විදිහටම ගරු කරනවා.. ආදරේ කරනවා...


සර්ගේ උගැන්වීම ගැන කියනවනම් වෙනම බ්ලොග් එකක් ලියන්ට පුලුවන් සර්ගෙ නමින්.. ඒත් මම මෙහෙම කියන්නම්..


සර් අපෙ පන්තියට, අපේ ඕලෙවල් පන්තියට ගණන් ඉගෙන්නුවෙ අවුරුදු දෙකයි, දහය සහ එකොළහට.. සර් කවදාවත් පන්තියෙ ගණන් පයිතොන්ට උගන්වන්ට ගියෙ නෑ... සර් ඉස්සරවෙලාම කරෙ පන්තියෙ ගණන් වලට දුර්වලම එකා හොයා ගන්න එක.. දවසින් දෙකින් සර්ට පුද්ගලයා හොයා ගන්ට පුලුවන් වුනා..


"සිරිබිරිස්.... කියපන් බලන්ට මේකෙ තියෙන සමානකම් මොනවද කියලා..." සර් කළු ලැල්ලේ 'කකුල'යි 'කුලක'යි වචන දෙක ලියල බුවාගෙන් අහනවා.. "මතක තියාගනින් සිරිබිරිස් කුලකයක පිලිවෙල වැඩක් නෑ.. බඩු ටික කොහොම හරි, කොතැන හරි තියෙන්ටයි ඕන.." සර් මුළු පන්තියටම ගණිතය කියල දුන්න සිරිබිරිස්ට ගණන්වල මුල් අකුරු කියල දෙන ගමන්.. 

ඕලෙවල් ප්‍රතිඵලය නවය වසර අවසානයට ගණිතයට ලකුණු පහළවක්වත් නොගත්ත සිරිබිරිස්ට "C" එකක්! ( සී එකට හරියන්ට සිරිබිරිස් ඩී දහයක විතර ටොකු කාපු එක වෙනම කතාවක් :)...)


සර්.. අපෙ පන්තියෙ හතලිස් පහකින් ගණන් ඇණ ගත්තෙ දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි.. ඒ දැනට අවුරුදු දහතුනකටත් කලින්.. ගණිතය විතරක් නෙවෙයි ජීවිතෙ ගොඩක් දෙවල් සර් අපිට කියල දුන්න.. ඒ දේවල් එදාට වඩා අද ගොඩක් වටිනවා.. මම වගේම අපි හැමෝම ආඩම්බරයි සර්ගෙ ගොලයෙක් කියලා කට ඈරලා කියන්ට..


ඔව් මම සුනිල් සර්ගෙන්,  සුනිල් රත්නායක සර්ගෙන් ඉගෙන ගත්තු ගොලයෙක්!

ලියා එව්වේ : වරුණ  සුදන්ත ( පුතා නමින් බ්ලොග් ලියන)