Monday, January 23, 2012

තවත් ආදරනීය සිංහල ටීච කෙනෙක් ගැන කතාවක්...


මේ අපේ සාමාන්‍ය පෙළට මුල් අත්තිවාරම වැටෙන 9 වසරේ පන්තිය.මීට පෙර වසර වලදී මුණ නොගැහුණු ගුරුවරියන් පිරිසක්.අලුත්ම අලුත් යෙහෙළියෝ.8 වසරේ ඉඳන් මා එක්ක මේ පන්තියට වැටුණේ කලින් 8 වසරේ හිටි අයගෙන් තුන් දෙනෙක් පමණයි.ඒ මම තෝරාගත් තාක්ෂණික විෂයය නිසා.දැක පුරුදු ඒත් මීට පෙර කතා බස් නොකරපු පිරිසක්.පරිසරය සම්පූර්ණ ආගන්තුකයි.කලින් කණ වැකුනු අයුරින් නොයෙකුත් අනවර්ථ නාම වලින් හැඳින්වුණු පොදුවේ අපට ඉහළ පන්තිවල ශිෂ්‍යයාවන් නපුරු ලෙස පිළිගත් ගුරුවරියන් පිරිසකගෙන් සමන්විත වුණු 9-H පන්තිය.සතිය දෙක ගෙවුණා.අලුත් මිතුරු හවුල් ගොඩ නැගුණා.එතකොට අපේ ගුරුවරියො..යකා කියන තරම් කළු නැහැලුනේ.


මේ මගේ ආදරණීය සිංහල මිස්.

ඔසරි පොට කර වටා දවටගෙන හුණු කූරක් අරන් හැඩකාර අත් අකුරු වලින් කළු ලෑල්ලේ මාතෘකාව ලියලා මිස් පාඩම පටන් ගන්නවා.

දරුවනේ..

මිස් අපිව අමතන හැටි.

"මේ බල්ලා බන බදාදාවා රිය පොළ ට එනවා" 
මිස් වාක්‍ය වෙන් කරන හැටි කියනවා.
වියරණ,තද්ධිත සමාස ප්‍රත්‍ය අතරේ ප්‍රායෝගික ජීවිතයේ පිටුවකුත් අපිටත් නොදැනෙන්න පෙරළනවා.


අවසන් කාල පරිච්ඡේද කියන්නේ අපිට බොහොම නිදිමත වෙලාවක්.බදාදා අවසන් කාල පරිච්ඡේද දෙකම වෙන් වෙලා තිබුණේ සිංහල සාහිත්‍යය සඳහා.මිස් එක්ක ඉන්දැද්දී මේ කාලය ගත වෙනවා අපට දැනෙන්නේ නෑ.


මිස් එක්ක අපි යනවා ගුත්තිල පඬිතුමා වීණා වයන හැටි බලන්න.එහෙමත් නැති නම් සැළලිහිණි සන්දේශයේ සැළලිහිණියා වෙලා අපිත් පියාඹනවා.
"මහෞෂධ පඬිතුමා අනේ මේ කාලේ හිටියා නම්" සියුම් උපහාසාත්මක හිනාවක් දෙතොල් අතරේ රඳවාගෙන ඇය උම්මග්ගේ විචාරනවා.

"අපේ අම්මා ඉන්න කාලේ අපි සහෝදර සහෝදරියෝ දහ දෙනාම ගමේ එකතු වුණාම......" තල මලේ වරුණ කියන ගමන් මිස් අපිවත් මිස්ගේ අතීතෙට ඈඳා ගන්නවා..සහෝදර බැඳීම් ගැන අපි හිතෙන් හිතනවා..
චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ කවි පන්තියක් විචාරන ගමන් මිස් මෙහෙම කියනවා.

 "දරුවනේ..මෙතුමා අතින් අපේ ජාතික ගීය ලියැවුණා නම් ඒක දැන් තියෙන එකට වඩා බොහොම අපූරු වෙන්න තිබුණා".
තවත් විටෙක පාඩමක් අතරේ ජීවිත පාඩම් අතගාමින්...

 "දරුවනේ මේ තාක් කාලෙකට මම කියවලා තියෙන පොත් වලින් හොඳම පොතක් සැබෑ මිනිසකුගේ කතාව.."මොහොතකට අපි ඉන්නේ  අලෙක්සේයි එක්ක.
පාසල අවසන් බව හඟවන සීනුව නාද වෙද්දී අපි හිතනවා අනේ තව ටිකක් වෙලා තිබුණා නම් කියලා.


සිංහල වලට කොච්චර කැමති වුණත් ඒ කාලේ මට රචනා, විචාර ලියනවා කියන්නේ එපාම කරපු වැඩක්.මිස් පැවරුම් වලට දෙන විචාර, රචනා මම කවමදාවත් ලියන්නේ නෑ.මිස් පොත් ලකුණු කරපු දාටත් මම කොහොමම හරි ගැලවුණා.9 ඉඳන් 11 වසර වෙනකන් මුළු කාලේදී ම මම රචනා විචාර ලියලා ඇත්තේ 10 සැරයකටත් වඩා අඩුවෙන්, ඒ වාර විභාග වලදී විතරයි.

අපේ පිළිතුරු පත් අපි හඳුනා ගන්නේ පාසලට ඇතුළත් වීමේ අංකයෙන් නිසා නම් සඳහන් වෙන්නේ නෑ.ලකුණු කරපු පිළිතුරුපත් අතැතිව එන මිස් ඒවා ගැන සමාලෝචනයක් කරනවා.
දරුවනේ..මේ සමහර උත්තර පත්තර වල තියෙනවා මට මීට කලින් පොත් බලද්දී මට කවමදාකවත් අහු නොවෙච්ච ජාතියේ හොඳ ලකුණු දෙන්න පුළුවන් විදියේ රචනා.ඒත් පන්තියේදී නම් මේ හොර කෙල්ලන්ගේ පොත් මට අහු වෙලා නෑ.මිස් හොරැහින් බලන ගමන් කියනවා.
සමහර උත්තර පත්තර වල අකුරු කෑලි.ඒවා බලන්න මම කණ්ණාඩි දෙක තුනක්වත් දාන්න වෙනවා.යමක් ලියන කොට මේ වයසක මං ගැනත් හිතන්න දරුවනේ..
මිස් දේශනාවක් කරනවා අපට ආයෙත් අපි ගැන හිතන්න.උත්තර පත්තරේ ශෛලිය අනුව, අත් අකුරු අනුව එය අයත් කෙනා කියන්න මිස් දැනගෙන හිටියා.පොදුවේ හැමෝටම කියනවා මිසක් මිස් කවමදාවත් අදාළ තැනැත්තා නම් කරන්න උත්සාහ ගත්තේ නෑ.පන්තියේදී එහෙම කීවාට තනි තනිවම අදාළ අය කැඳවා අවවාද දෙන්න මිස් පසුබට වුණේත් නෑ..වාර විභාගෙදී විතරක් ලීවා වුණත් රචනාවට වැඩිම ලකුණු ගන්නා පිරිස අතර හැමදාමත් මම හිටියේ මිස් ගේ ඉගැන්වීමේ දක්ෂකම නිසාම වෙන්න ඇති.


9 වසරේ සිට 11 වසර තෙක් ගතවුණු ඒ අවුරුදු 3 ක කාලය ඇතුළත් මිස් ගෙන් අපි ලබපු පන්නරය, අපේ ජීවිත වලට ලැබුණු වටිනාකම් මෙවැනි පොඩි සටහනකින් කොහොම ලියන්නද?


උසස් පෙළ පන්තියේදී ඉඩ ලද හැම විටකත් පාසලින් සමුගත් පසුව පාසලට පා තැබී හැම මොහොතකමත් නොවැරදීම මිස් ව මුණ ගැහිලා පොඩ් වෙලාවක් හෝ කතා කිරීම මං වගේම මගේ යෙහෙළියන්ගේත් සිරිතක්. ඒ හැම වෙලාවකම සුපුරුදු ලෙන්ගතු කමින්, ආදරෙන් අතින් අල්ලගෙන මිස් කතා කරන හැටි මට මේ දැනුත් දැනෙනවා වාගෙයි.
අපි විතරක් නෙවෙයි,මිස්ගෙන් අකුරක් හරි ඉගෙන ගත් හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම මිස් ව මුණ ගැහෙනවා ඇති, ඒ කාලෙ වගේම අදත්.


ඒ කාලේ මිස් හරිම ලස්සනයි.දිග කොණ්ඩේ කැටි කරලා ගෙඩි ගහපු කොණ්ඩේ, එක අතක පටලව ගත්තු ඔසරි පොට, පපුවට තුරුලු කර ගනිපු පොත් මිටිය, හනි හනිකට කොරිඩෝව දිගේ මිස් පන්තියට එන හැටි මට තාමත් මතක් කර ගන්න පුළුවන්.


අවාසනාවකට 2002 වසරෙන් පසු නැවත පාසලට යන්න මට අවස්ථාවක් ලැබුණේ නෑ.දැන් අවුරුදු 10ක් ගත වෙලා.මිස්ගේ දුරකතන අංකය තාමත් මතකයෙන් කියන්න පුළුවන් වුණත්, ලිපිනය දැනගෙනත් මිස් ගැන කිසිම දෙයක් අද වෙනකොට මම දන්නේ නෑ.අඩුගානේ මිස් තාමත් පාසල් එනවාද නැද්ද කියාවත් මම දන්නේ නෑ.කොච්චර ගුණමකු කමක්ද?


ඉස්සරට වඩා හැඩ රුවින්,බාහිර ස්වරූපයෙන් අපේ මිස් වෙනස් වෙලා ඇති.ඒත් අවුරුදු 10කින් පස්සේ වුණත් අද හෙට දුරකතන ඇමතුකින් ඇය ඇමතුවොත් එදා වගේම සුපුරුදු ලෙන්ගතුකමින් ඇය කතා කරයි.
ඒ ඇය අපේ ආදරණීය සිංහල මිස්, අපට හැමදාමත් දයාබර අපේ සෝමා හේරත් මිස් නිසාම යි.

මේ කතාව අපිට ලියා එව්වේ : 

නම කියන්න අකැමති අක්ක කෙනෙක්. ඒත් අක්කෙ ඔයාට ගොඩක් ස්තූතියි මේ ලස්සන සටහනට ...

8 comments:

  1. කොයිතරම් වාසනාවක්ද.. :)
    එවැනි ගුරු දෙමාපියන් අපේ රටේ තව තවත් සුවඳවත්ව පිපෙන්නට ආශිර්වාදයක්ම වේවා..!!!

    ReplyDelete
  2. ඉස්කෝලෙ මිස්ලා ගැන කොච්චර මතකයන් තියෙනවද. අපිට ඉංග්‍රීසි විෂ්ය තිත්ත වෙලා තිබිච්ච කාලෙ ඉංග්‍රීසි කියන්නෙ අරුමයක් නෙමෙයි කියල කියලා දීපු මාලා මිස් මතක් උනා.

    ReplyDelete
  3. හ්ම්ම් ලස්සනයි කතාව

    ReplyDelete
  4. මට සිංහල උගන්නපු හැම සර් කෙනෙක්ම හැම මිස් කෙනෙක්ම මතක් උනා
    අමතකයි කියලා හිතාගෙන හිටපු මගේ 6 වසර සිංහල මිස්ගේ නමත් මතක් උනා
    ඒ තරමට හෘදයාන්ගම ලිපියක්

    ReplyDelete
  5. අනේ මේ සෝමා හේරත් මිස් මගෙත් සිංහල මිස්...
    මිස්ට ලස්සනට කවි කියන්නත් පුළුවන්. සැළලිහිණි, ගුත්තිල කාව්‍ය මිස් කියල දුන්න විදිය කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඕ ලෙවෙල් සිංහල පේපර් එකට ගුත්තිල කාව්‍ය විචාරේ ලියද්දි මට නම් දුකත් හිතුන මේ සිංහල විචාර ලියන අන්තිම වතාව නේද කියල.
    මගේ සිංහල D එක වගේම, ඒ අවුරුද්දේ ප්‍රයිස් ගිවින් එකේදී ලැබුණු සිංහල විෂය තෑග්ගේත් හැබෑ අයිතිකාරි මම නෙවේ, සෝම මිස්.

    ReplyDelete
  6. Soma miss taram lassanata sinhala ugannapu miss kenek ape iskole tawa hitiye nathi taram..miss iskolen yana dawase miss ta lamai liyala dunnu liyum godaak kiyewwa..

    ReplyDelete
  7. Soma miss taram lassanata sinhala ugannapu miss kenek ape pasale nohitiya taram.miss mata igannuwe nathath man e miss ta godak adare kala..aya antimata vishrama giya dawase kala kathawath mata tawama mathaakai

    ReplyDelete
  8. Soma miss taram lassanata sinhala ugannapu miss kenek ape iskole tawa hitiye nathi taram..miss iskolen yana dawase miss ta lamai liyala dunnu liyum godaak kiyewwa..

    ReplyDelete