Wednesday, February 1, 2012

මම ටෙට්සුකී හෝ එලිසබෙත් ඇලන් හෝ අල්තිනායි නොවෙමි...

මගේ පියාට කිසි දිනෙකත් එබ්‍රහම් ලින්කන් මුල් ගුරුතුමාට යැව්වා මෙන් ලියමනක් මගේ ගුරුවරයාට යැවීමට නොහැකි විය.යළි යළි ගුරුවරයා යන්නෙහි නියම අරුත පවා මට බොහෝ කලක් ප්‍රශ්නකාරී විය.
ගුරුවරයා මගෙන් ඉතාම දුරස් චරිතයක් බවට පත් වී තිබූ බව මට හොඳින් මතකය. (මගේ මවද ගුරුවරියක්)
ගුරුවරයා ස්ත්‍රියක් නම්.. ඇය සාරියක් හෝ ඇයගේ සංස්කෘතියට ගැළපෙන සභ්‍ය ඇඳුමකින් සැරසුනු, විනීත ලලනා පැවතුම් ඇති.. සභ්‍ය ..සුමට හා අවශ්‍ය විටක තදින් ද කතා කළ හැකි අයෙක් විය යුතුයැයි..කුඩා කල මට සිතිණි. (අම්මා ඇසුරෙන් විය හැක)

පිරිමි ගුරුවරුන් පාසල් වල නොසිටිය යුතු බවද, ඔවුහු ඉතා සැර පරුෂ, වේවැල් වලින් ළමයින්ට පහර ගසන්නට බලා සිටින.ඉතාම නපුරු... දරුවන් නිරන්තරයෙන් රිදවන....දුර්වල තැන් හී හිනා වෙන .. සෙනඟ අසල ලැජ්ජාවට පත් කරන ...කොහෙත්ම බාලිකා විද්‍යාල වලට නොගැළපෙන අය විය යුතු යැයි මම සිතුවෙමි. ( උසස්පෙළ ගුරුවරු ඇසුරෙනි)


ඒ දිනක් මා ඉදිරිපිටදීම ගුරුවරයෙක් අතින් පිරිමි ළමයෙකු තැලුම් කෑ නිසා මම බොහෝ බියට පත්වීමි..
මම කැමති විදිහේ ගුරුවරු මට සිහිනයක්ම විය.

පාසලේ දී ගුරු දිනයට නොයෙක් උත්සව සංවිධානය කෙරෙද්දි මම එම උත්සව වලට සහභාගි වීමි. එහි මිහිරක් මට නොදැනුණේ පාසල් ගුරුවරුන්ගේ සමස්ත අවධානයෙන් මා බැහැර පත් වූ චරිතයක් හෙයිනි. එකල මම මෙය හෙළි කරන්නට මඳක් ලජ්ජා වුවද, අද වන විට මේ පිළිබඳව බොහෝ දෙනෙක් දන්නවා ඇතැයි මම විශ්වාස කරමි. එහෙයින් අද දින මම සියල්ලන්ගේම අවධානයෙන් මුක්ත වූ චරිතයක් යැයි කීමෙන් මට කිසිම දුකක් උපදින්නේ නැත.

ලියන විලාසයේ සිට, කවි කියන විලාසයේ සිට, සිතීමේ විලාසයේ සිට, ඔවුහු මා සැලකුවේ යම් අංගවිකල ස්වරූපයකිනි..එයින් නිරන්තරයෙන් පීඩාවට පත් වූ නිසාදෝ මම ගුරුවරුන්ට වෛර කරන්නට පටන් ගතිමි.
මම කවියක් ලියුවොත්, එය මා ලියූ බවට පිළිගන්නට තරම් ගුරුවරු මා අවිශ්වාස කළේ මන්දැයි මම අදටත් මගෙන්ම ප්‍රශ්න කරමි...ඔවුන්ට මා නොසලකන්නට තරම් හේතු තිබුණා විය හැක.
පුංචි පන්ති වලදී කලු කැහුටු නිසාද, මැද පන්ති වල කලුම කලු නිසාද , ලොකු පන්ති වලදී කලු මහත නිසාද මගෙන් බොහෝ අවස්ථා මඟහරවන්නට ඔවුන් කටයුතු කළද අද වන විට ඉහත කී කිසිවක් නිසා මා සිතේ ඔවුන් කෙරෙහි වෛරයක් උපදින්නේ නැත.

මගෙන් බොහෝ මාර්ග අහුරා දැමූ ඔවුහූ ...මට නොපෙනෙන මාර්ග විවර කර දුන් බව පමණක් මම අද දනිමි.
මේ ලිපිය ලියන්නෙ සැබවින්ම කුමක් වෙනුවෙන්දැයි ඔබ ප්‍රශ්න කරනු ඇත.
දුයිෂෙන් , කොබයාෂි මහත්තයා සහ මිස්ටර් ලුවිස් යන තිදෙනාටම වඩා හොඳ ගුරුවරු ලෝකයේ ජීවත් විය හැකියැයි මම කිසිදිනකත් නොසිතීමි. නමුත් එය බොරු කිරීමට සමත් වූ එක් ගුරුවරයෙක් පමණක් මට මගේ ජීවිත කාලය තුළ හමුවී ඇත.

ගුරුවරයා යනු ඇඳුම හෝ රූපය හෝ නොව හුදු මනුෂ්‍යත්වය දෑතින්ම පෙරටුකොට තමා දන්නා දේ ඊට වඩා සුන්දරව ලෝකයට දානය කරන්නෙකි.
මගේ ගුරුවරයා පිළිබඳව කීමට සුදුසුම පුද්ගලයා මම නොවියහැකි වුවද ඒ වෙනුවෙන් වෙන එකෙකු ඉදිරිපත් වන තුරු කල් මැරීම මම නොකරමි..එය බොහොම ගෞරවයෙන් කළ සියලු අවස්ථා හීදී මම දෝෂ දර්ශනයට හසු වුවද... (අදත් මම එයම බලාපොරොත්තු වෙමි.)
මම එය නොපැකිළ සිදු කළෙමි.

නිවැරැද්දෙන් වැරැද්ද හඳුනා ගන්නා සැටි ද, ලෝකයේ කපටි කම්ද, ගුණයහපත් කම්ද, එබ්‍රහම් ලින්කන් කිවූ පරිදි තම පුතුට ඉගැන්වීමට ඕනෑවූ සියල්ලම ද මගේ පියාගේ අනුදැනුමක් හෝ නැතිව වුවද මට උගන්වන්නට එතුමා ගත් උත්සාහය මම කිසි දිනෙක ලගු කොට නොතකමි.




විටෙක තරවටු කරමින්ද, විටෙක බොහෝ කරුණාවෙන්ද, විටෙක රිදවමින්ද, විටෙක උපහාසයෙන්ද, විටෙක දඬුවම් කරමින්ද, විටෙක විහිලු තහලුවෙන්ද, එතුමා අපට ඉගැන්වූ හා අදටත් උගන්වන ආකාරය සූක්ෂමය.විශිෂ්ටය.සිත්ගන්නසුළුය.


අප කරන ලද බොහෝ අකටයුතුකම් මැදහත් සිතින් ඉවසමින් අප වෙනුවෙන්ම සෑහෙන දුක් උහුලමින් අප ආරක්ෂා කරන්නට (මා ආරක්ෂා කරන්නට) හැකි වූ මා හඳුනාගත් ගුරුවරයෙක් වී නම් ඒ අපේ ගුරුවරයා ම පමණි.


අප යා යුතු මග පිළිබඳව නිශ්චිතව කිසිම බලපෑමක් කිරීමට ඔහුට කිසිවිටෙකත් වුවමනා නොවීය. ලෝකයට මෙතෙක් වැදගත් නොවූ එහෙත් මුලු ලොවටම වැරදුණු තැන් බොහෝමයක් අපට උගන්වා, ඉතා නිවැරදිව විශ්වාස කටයුතුව ලෝකය දෙස බැලීමට අපට ඉගැන්වීමට ඔහු දැරූ වෙහෙස වචන වලින් විස්තර කිරීමට මම සදාකාලිකවම අපොහොසත් වෙමි.


කාඩ්බෝඩ් වීරයන්ගෙන් සැබෑ වීරයා ආරක්ෂා කර ගත යුතුව ඇති බවද, පෙනෙන ගොදුරු සොයන්නාට වඩා නොපෙනී එන ගොදුරු සොයන්නාට අප ග්‍රහණය විය හැකි බවද, සබැඳීන් බහුතරයක් මඟ හැරුණු අධ්‍යාපන රටාවක දැනටමත් අප වල්මත් වී ඇති බවද, අනාගතයට පිය නගන වාරයක් පාසා එය දෙගුණ වන බවද, අනාගත පරපුරට සියල්ල මුල සිට ඉගැන්වීමෙන්...යළිත් ලෝකය දුවන්නංවාලේ දිවීම පසෙක තබා කල්පනා කරනු ඇති බවද, සියල්ල පිළිගැනීම පසෙක ලා සත්‍ය වෙනුවෙන් මියෙන මොහොත දක්වා තර්ක කළයුතු බවද, පිළි නොගන්නන් ඉදිරියේ නිහඬ විය යුතු බවද,ඔවුන්ට විහිලු කළයුතු බවද ගුරුවරයා අපට ඉගැන්වූ බව සාරංශ කරන්නේ ඔබේ ඉගෙනීමට එයින් පිටිවහලක් වෙතැයි මම සිතන හෙයිනි.


කිසිවෙක් කිසිම මොහොතක අත් නොහැරිය යුතු බවද, නතර වුණු ඔරලෝසුවක වුව දිනකට දෙවරක් හරි වේලාව පෙන්වන බවද ඔහු අපට ඉගැන්වූ බව මතකය.. ප්‍රායෝගික ලෝකයට පිවීසීමට ඉගෙන ගතයුතු බවද, ඉගෙනීම පමණක් කොට එය ප්‍රයෝගිකත්වයට නොගෙන යාමෙන් ලොවට කිසිඳු ඵලයක් නොලැබෙන බවද, ඉගෙනීමෙන් තොරව ක්‍රියාවට නංවන බොහෝ දේ භයානක ප්‍රතිඵල ගෙනවිත් ලොවක් විනාශ කරන බවද ඔහු අපට ඉගැන්වීය.


දැන් ඔබ පවසාවි... මේ කිසිවක් මුලින් කීවේ ඔහු නෙවී... මේ සියල්ල මහා විද්වතුන් පැවසූ දේ කියා... නමුත් එතුමා මේ දේ දැන ඉගෙන මට පැවසූ හෙයින් අප අදහන්නේ මේ ඔහුගේ වාක්‍ය ලෙසයි.. බොහෝවිට දේව වාක්‍ය ලෙසිනි.


නීතිය ඉගෙන ගත් වුන් හේතු ප්‍රකාරව නීති කැඩුවාට කමක් නැතැයි අපට ඉගැන් වූ නිසාම අපි නිවැරදිව විය යුත්ත සොයා ගියෙමු ... එය පුදුමාකාර ඉගැන්වීම් රටාවකි..


අප කළ‍ වැරදි තරමටම ... මා කර ඇති වැරදි වැඩි විය හැක... ඒ කිසිවකට ගුරුවරයාගෙන් සමාව ඉල්වන්නට තරම් මම නුසුදුස්සෙකු බව මම දනිමි... නමුත් ඒ වෙනුවෙන් එතුමාගේ සදාකල් අනුකම්පාව ලැබෙනු ඇතැයි ද අපේක්ෂා කරන්නෙමි.විරුද්ධ මානසික කැරැල්ලකට හසු වී මතවාදීමය ප්‍රකම්පනයකට හසුවූ කෙනෙක් සියල්ලෙන් මිදී ලෝකය දකින සේ අද මම ලෝකය දකිමි....නමුත් අද මම විසින් අවිශ්වාස කළ ගුරුවරයාව මා විසින්ම මට වඩා විශ්වාස කිරීමට පෙළඹී සිටිමි.


මම ටෙට්සුකී හෝ එළිසබත් ඇලන් හෝ අල්තිනායි නොවෙමි..මම ඔවුන් තිදෙනාගෙම සෙවනැල්ල හිමි පොලියානා වග වරෙක මිතුරියක් පැවසීය..මා එසේ විය හැක.
නමුත් මගේ ගුරුතුමාට මා ඒ කිසිවෙකු නොව නෙරංජි ය.


මම දන්නා වූ අග්‍රම ඵලය බුද්ධ යන්න පමණකි.. යම් බුද්ධ සසුනක නිර්වාණය අවබෝධ කොට ගෙන අප සැනහෙන දිනකදීත් ඔබ අපගේ ගුරුවරයාම විය යුත්තේය... මම සංසාරය විශ්වාස කරමි.
මා අතින් යළි කිසි දිනෙක ගුරුවරයෙකු ගැන නොලියවේවි. මන්ද හිමාලය ගැන ලියන අතර නමුණුකුල කිසිවෙකුටත් නොපෙනෙන හෙයිනි.




ඔබට ඇති ණය ගැති බවින් මිදීමට කළ යුතු එකම දෙය ඔබට වඩා හොඳ ගුරුවරයෙක් වී සමාජයට දායාද වීම පමණක් යැයි මම තීරණය කළෙමි.. එහෙත් ගුරුතුමනි , ඔබ අභිබවන්නට මට හෝ මා වැනි කිසිවෙකුට මරණ මංචකයේදීවත් හැකීවේද? ඒ සඳහා ද එකම එක පිළිතුරකි.. නැත.
එහෙත් මම හැකි පමණ උත්සාහ කරමි. මා පතන ලද සියලු
ජයග්‍රහණයන් අත් පත් කර ගත් දිනට මා ඔබ වෙතට එමි. එදිනට මම නියම ගුරුවරයා යනු කවුදැයි ලොවටම හඬඟා කියමි... එදාද අදද හෙටද....එදිනටද මට සිනාසෙන එවුන්ට හා මා වට්ටන්නට එන එවුන් කිසිවෙකුටත් මම තව දුරටත් බියනොවෙමි.
මන්ද යත් මට එදිනටත් ගුරුවරයෙක් සිටිනා බවට මම අදහන බැවිනි...




හැකි කෙනෙක් මේ ගීය අහන්න

නෙරංජි ඒකනායක

4 comments:

  1. සහක් දුකින්
    සතුට පෙරා
    සිප් දුන්
    ගුරුතුමනි
    අපේ.....
    තුංග සුනෙර
    වසාලන්න
    වැලිකැට
    එක් කරමි
    කෙසේ....

    ReplyDelete
  2. මගේ හිතට දැණුනු හැගීම කියන්න තේරෙන්නේ නෑ.. ඒ ආදරණීය ගුරු තුමාගේ නම කිව්වා නම් තවත් හොඳයි කියලා හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. නම කියපු නැති එක නම් අඩුවක් තමයි.

      Delete
    2. සමහර විට ඔයා කියවල ඇති මගේ පොස්ට් එකක් එකෙත් හිටියේ ඒ වගේ හොඳ ගුරුවරියක් සහ නරක කෙනෙක්.

      Delete