Sunday, January 15, 2012

ඈට තිබ්බෙ අපූර්ව සිනහවක් !

ඈට තිබ්බෙ අපූර්ව සිනහවක්. ඒ සිනහවේ පුදුමය තමයි ඒ සිනහව කිසිම දාක මැකිලා නොයන එක. ඉන හොඳට වැහෙන්න ඔසරිය ඇඳන් , අමුතු ලතාවකට ඇවිදිමින් හෙමින් හෙමින්, ඈ සිංහල පොත් මිටියත් තුරුලු කරගෙන පන්තියට එනවා. සමහර ටීචලා පන්තියට එනවා පේද්දි අපි කරන්නෙ මේස පු‍ටු පෙරලගෙන උන්නු තැන හොයන් දුවගෙන ගිහින් සීරුවෙන් සිටගන්න එක. ඒත් ඈ පන්තියට එද්දි පන්තියෙ ලමයින්ගෙන් 99% දෙනාගේම (මම හිතන්නෙ 100% දෙනාගේම) හිත්වල මල් පිපෙනවා. පිට්ටනිය දිගේ පෙනෙමින් නොපෙනෙමින් ඈ එනකොට , ටීච දැන් දොරෙන් එතියි එතියි මග බලනව. ඒක මහ පුදුම දෙයක්.. ! මහමායාවෙ ඉගෙන ගත්තු අවුරුදු 8 පුරාවටම මගෙ ලස්සනම සටහන් පොත සිංහල පොත. සටහන් විතරක් නෙවි, ගෙදර ඉද්දි සටහනේ අභ්‍යාසයට ගැලපෙන්න චිත්‍රෙකුත් අඳින්න මම ආස කලා. ටීච කියලා නෙවි. ඒත් ඒ ආසාව නිසාමයි. ටීචගෙ රතු පෑනෙන් 'ඉතාම හොඳයි' කියල ලියවගන්න තිබ්බ ආසාව. 


ඉතින් මගෙ ටීච. ආ ඈට තියෙන හිනාව තමයි ලෝකෙ ටීච කෙනෙක්ගෙ මම දු‍ටුව ආදරනීයම හිනාව. ඒක හිත පත්ලෙන්ම එන පුදුම හිනාවක්. සිංහල කියන්නෙ බෝරිං විශයක් නම් නොවෙයි මට කවදාවත්. ඒත් සිංහල විෂය මට රසවත් වුනේ නම් මහමායාවෙ මට ඉගැන්නුව ටීචර්ලා 3 දෙනෙක් නිසා. අද ලියන මගෙ ටීච තමයි මට 10,11 වසර වල සිංහල ඉගැන්නුවෙ.


ඈට හැම පාඩමටම අපිට කියාදෙන්න කතාවක් තිබ්බ. ඈ කියන කතා අහන්න අපි දැක්වුවෙ පුදුම ආසාවක්. අපිට පෙරලි පෙරලි හිනාවෙන්ට , මොකක්හරි කතාවක් ඇඟට පතට නොදැනී ලතාවට කියන්න ඈට තිබ්බෙ උපන් හපන් කමක්. ඒක බින්දුවක් හිනා නොවී ඈ ඇඟේ පතේ ගෑවී නොගෑවී ඔහේ කියල දානව. ඉතින් අපි හිනාවෙනව. ඇගේ සතුට තමයි ඒක.


සිංහල සාහිත්‍යය පොත කියන්නෙ මගෙ බයිබලය වගෙ එකක්. මම ගෙදරදි පාඩම් කරනව කියල කරපු එකම දේ තමයි, කැලේ පේන බැල්කනියෙ පු‍ටුවක කකුලුත් උඩට අරන් හරි බරි ගැහිලා රටට ඇහෙන්න මගේ රට, සැලලිහිණිය පාඩම් කල එක. ඈ අපිට පාඩම කියාදුන්නෙ රසවත්ව. කිසිම දාක මට සිංහල පන්තියෙදි නින්ද ගිහිල්ල නෑ. අපි කුවේණි කවි පන්තිය එක සුමේට ගායනා කරපු 11 වසරෙ කාලච්ඡේදය මට අද වගෙ මතකයි. එදා අපි කොච්චර ආසාවෙන් සමවැදිලා ඒ කවි ටික කිව්වද කියනව නම්, අපිකවි පන්තිය අවසන් කරද්දි එකම පිච් එකට පුදුම මධුර ස්වරයකට ඈගේ ලයාන්විත හඬටම සුසර වෙමින් දැහැන්ගත වෙමින් උන්නෙ. කවි ටික ඉවර වුනාම මට දැනුනෙ පුදුම දුකක්. ඈටයි, පන්තියෙ හැමෝටමයි ඒක එහෙමම දැනිලද කොහෙද, ඈ ඇහුව 'ආයෙ කියමුද?' කියලා. අපි එක සුමේට 'හා' කියල මුරගෑවා අද වගෙ මතකයි.


ඒ විතරක් නෙවි. එක දවසක්. චූටිම චූටි සිද්ධියක්. එදා ඈ වෙහෙස වෙලා හිටි දවසක්. ඒ නිසා පාඩම කියවන්න මහන්සි නිසා , 'කවුරු හරි නැගිටලා  පාඩම කියවන්න' .... ඈ එහෙම කියලා බලාගෙන හිටිය. ම්ම්.... මිනිත්තුවක් විතර ගත වුනා. ස්වභාවයෙන්ම කුලැටි ලමයින් ආඬි හත් දෙනාගෙ කැඳ හැලිය වගෙ , අනිකා දිහා බල බල හිටිය මිසක් කවුරුත් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුනෙ නෑ. ඈත් නිහඬව තවම බලන් ඉන්නව. අපිත් ඉන්නවා. කුචු කුචු ගාමින් වටපිට බලනව. එකපාරටම ඇගෙ ස්වරය වෙනස් වුනා. කටහඬට ඇඬුම් ආවා. 'මෙතන ඉන්න කාටවත් මම ගැන හැඟීමක් නැද්ද? මම මෙච්චර කියලා , කිසි කෙනෙක් මම ගැන හිතන්නෙ නැද්ද?' ඇගේ ඇස් වලට කඳුලුත් පිරෙනවා. ඒක අපි කවුරුත් නොහිතුව ප්‍රතිපලයක්. ඈ බැන්න නම් දුක නෑ. ඒත් ඈ එදාවත් වෙන කිසිම දාකවත් අපිට රවලවත් නොබැලුව ගුරු දේවතාවියක්. ඇගේ ඇස් වල කඳුලු පිරුනා. ඒත් ඈ බිම බලන් පාඩම කියවන්න පටන් ගත්තා. එක පාරම උපුලි නැගිට්ටා. පාඩම කියවන්න ගත්තා. ඈ වෙනදා වගෙ අපි එක්ක විහිලු කළෙ නැ. පාඩම සාමාන්‍ය ඒත් දරදඬු ස්වරයෙන් නිසි ලෙස කියා දුන්නා. අපි ඇගෙන් එහෙම පාඩමක් කිසිම දාක බලාපොරොත්තු වුනෙ නෑ. ඒත් මක් කරන්නද? ඒක අපෙ වරද... මම වටපිට බැලුව. මෙන්න පන්තියෙන් හරි අඩක්ම මිස්ගෙ හිනාව අතුරුදන්වෙච්චි දුක්බර මූණ දිහා බලාගෙන කඳුලු පෙරනවා. මාත් ඇතුලුව. මිස් වෙනද වගෙ එදා හිනා වුනෙ නෑ. ඈ ඉඳලා හිටලා හිනා යන එක දෙකක් කිව්වත් අපි හිනා වුනෙත් නෑ. ඔලුව බර වෙලා දුකෙන් පිරිලා.


ඒ අපි ඈට කොච්චර ආදරේද කියන එක , ඈටත් වඩා අපි අපිම අඳුනගත්තු  වටහ ගත්තු දවස. ඈ කාලච්ඡේදය නිමා වෙලා ගුරු කාමරයට ගියා. අපිට කතා කරගන්නට වචන නෑ. ඒත් දුක කියල නිම කරගන්නත් බෑ. අපිට සෑබෑ දේවතාවියක් වූ ඈගේ හිත රිදෙව්වට , අපි අපිටම දොස් කියාගනිමින් උන්නෙ. කාටවත් හිතේ දුකෙන් නිදහස් වෙන්නට බෑරි වුනා. පනස් දෙනාම පේලියක් හෑදිල ගුරු කාමරයට ගිහින් ඇගෙන් වැඳල සමාව ගත් හැටි මට අද වගෙ මතකයි. පිට්ටනියෙ ඒ කොනේ හිටන් මේ කොන තෙක් දිග සිසු පෝලිමක් ගුරු කාමරය වෙත, දවසෙ පන්ති පැවැත්වෙන වෙලාවක හැදිල තියෙනව දුටු අපෙ පන්ති භාර ගුරුතුමියගෙන් , පහුවෙනිද උදේ බැනුම් ඇහුවත් මතකයි. ඒත් ඒ බැනුම වගෙද ඇගෙන් සමාව අරන් හිත නිදහස් කරගත් එක.


ඈ කිසිදාක වචනයෙන් පාඩම් කියල දුන්නෙ නෑ. ක්‍රියාවෙනුයි අපිට පාඩම් කියල දුන්නෙ. ආදර්ශයෙන්. කිසිම දාක ඇගෙ වැඩ කොටස ගැන අපිට කියන්න කිසිදෙයක් තිබ්බෙ නෑ.


මගේ කවිපොත සහ ඈ මගෙ පොත පි‍ටුපස්සෙ ලිව්ව කවියත් මෙතනදි අමතක කරන්නම බැරි දෙයක්. 7 වසරෙ සිටම මම ලියන හැම කවියක්ම එකතු කල , දැනට කවි 200ක් විතර තිබෙන කවි පොත මගෙ ජීවිතෙ මම එකතු කළ වටිනම දෙයක්. ඉතින් කලින් කලට මේ පොත , මට සිංහල උගන්නන ගුරුතුමීට දෙන එක මගෙ පුරුද්දක්. ඈ ඉතින් මගෙ ඉස්කෝලෙ ලෝකෙ හිටි වීරවරියනෙ. ඇගෙ ස්ටාෆ් රූම් මේස පොඩ්ඩෙ මේ පල්ලෙහායින් තියන පොත නිතර තැන්පත් වෙලා තිබුනා. ඉතින් මේ පල්ලෙහා රූපෙ තියෙන්නෙ ඒ පොතේ ඈගෙම අකුරෙන් , මාව දිරි ගන්වන්නට ඈ ලියුව ලස්සන පැදි පෙළ... 



මේ වගෙ ලස්සන ජීවිතයක් ලද මට, අනේ අද මේ දැන් මැරුනත් දුක නෑ අප්පා. මම එකතු කළ සුන්දර අත්දැකීම්, සිහිවටන ඕනෙ තරම් ...ඉතින් යාලුවනෙ දැන් ඔයාල දන්නවා ඈගෙ නම. 

මගෙ ලෝකෙ හිටිය ආදරනීයම ගුරුතුමී.. සී ජයසේකර ගුරුතුමී. මහමායාවෙ මම දු‍ටු සුන්දරතම සිනහව හිමි ඇයට. හොඳම ඉගැන්වීම් ශෛලිය හිමිත් ඇයට. ලස්සනම හදවත හිමිත් ඇයට. සිංහල බසට මම පෙම් බඳිනවා නම් ඒ පෙමට මූලික වූ ගුරුතුමියන් 3 දෙනාගෙන් එක් ගුරුතුමියක් ඇය. අනෙක් ගුරුතුමියන් දෙදෙනා ගැනත් ලියනවා පසුවට.


ආදරනීය ගුරු දේවතාවියනි.. ඔබට නිදුක් නිරෝගී සුව පතමි...

ප.ලි. භාශිණි නංගිට පින් සිදු වෙන්න , මට ඈගෙ පින්තූරයක් හමු වුනා. මේ පින්තූරෙ දම්පාට ඔසරිය ඇඳන් ඉන්නෙ ඒ ආදරනීය ගුරුතුමී... 

16 comments:

  1. ම්ම්ම්ම්ම්ම්ම්...ලස්සනයි...

    ReplyDelete
  2. මේ බ්ලොග් එක පටන් ගන්න මෙච්චර කල් හිටියේ ඇයි අෆ්ෆා... වැඩක් නෑ කියලා...

    මේ බ්ලොග් එක දිගුකල් දිනේවා... සියලු ගුරුදෙවියන්ට පිදෙන ගුරු පඬුරක්ම වේවා...

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්........... සංසාරෙ පාලුවට යයිද මන්දා..... (මන් කිව්වෙ මගෙ පරන බ්ලොග් එක... නෑ නෑ.. එහෙම වෙන්නෙත් නෑ )
      :-)
      අනිවාර්යයෙන්ම, බීට්ල්තුමාගේ ලිපිය එනතුරුත් මේ බලා ඉන්නවා හරිද? :-)

      Delete
  3. ඒක නේන්නම්........... සංසාරෙ පාලුවට යයිද මන්දා..... (මන් කිව්වෙ මගෙ පරන බ්ලොග් එක... නෑ නෑ.. එහෙම වෙන්නෙත් නෑ )
    :-)
    අනිවාර්යයෙන්ම, බීට්ල්තුමාගේ ලිපිය එනතුරුත් මේ බලා ඉන්නවා හරිද? :-)

    ReplyDelete
  4. http://sansaare.blogspot.com/2010/07/blog-post_9123.html(හදවතින්ම ආදරය දෙන්න ... කරුණාව නෙමෙයි.. ආදරය දෙන්න...
    දරුවෙකුට දෙයක් හිසට ඔබන්න හැකි එකම මන්තරය තමයි ආදරය. මේ මම නම් තදින්ම අදහන දෙයක්. සෙනෙහසින් කියන ඕනෙම දෙයක් ඕන දඟයෙක් අහනව. රවා බලනවට, සැර වැර කරනවට මේ පොඩිහිටියෝ කැමති නෑ. ලොකු සිසුවන් ගැන නම් කියන්න තියෙන්නෙ , අනිත් යාලුවො ඉස්සරහ විහිලුවක්වත් කරනවට එයාල කැමති නෑ. දඬුවමකින් හදන්න බැරි දරදඬු ලමෙක්ව මෙල්ල කරගන්න පුලුවන් පූස් පැටියෙක් තරමටම, ආදරේ පෙන්නීමෙන්... 'ආදරනීය ගුරුතුමනි'හි බ්‍රෙත්වේට් ගුරුතුමා නොසන්ඩාලයින් ‍රැලක් යැයි හංවඩු ගැසූ කොලු කෙලි ‍රැලක් මෙල්ල කලේ වන කිසිවකින් නෙමෙයි.. ආදරයෙන්...!).the teacher who you have mentioned here, had been possessed a hearty affection upon her students & that is the reason behind this line අපිට සෑබෑ දේවතාවියක් වූ ඈගේ හිත රිදෙව්වට , අපි අපිටම දොස් කියාගනිමින් උන්නෙ. කාටවත් හිතේ දුකෙන් නිදහස් වෙන්නට බෑරි වුනා. පනස් දෙනාම පේලියක් හෑදිල ගුරු කාමරයට ගිහින් ඇගෙන් වැඳල සමාව ගත් හැටි මට අද වගෙ මතකයි. Mean while the teacher(සී ජයසේකර) also lucky to have such an admirer like you jeewithe mal :)

    ReplyDelete
    Replies
    1. මම හිතනවා රීසා ඔබ හරි... ඔබ කිව්වා වාගේ, ඈගේ සිනහව ඈගේ ආදරය මා වෙනස් මිනිසෙකු බවට පත් කලා. එතරම්ම මෘදු ස්ත්‍රී චරිතයක් මා නොදුටු තරම්... ඈ වැනි උත්තමියක් මවක් කල ඈගේ දූපුතුන් හරිම වාසනාවන්තයි. ඈගේ දියනියන් වන අප නම් කොතෙක් වාසනාවන්තදෑයි කියන්න වචන නෑ.
      ස්තූතියි...
      රීසා...ඔබේ කෙටි ලිපියයි පෝලිමේ ඊලඟට තිබෙන්නෙ . කෑමති නම් එය දිගු කොට එවන්න :)

      Delete
  5. මා දයාබර දුව දිල්ශාරා, ඔබේ ලිපිය මගේ ඇස් කෙවෙනි තෙත් කලා. ආදරය, සෙනෙහස, දයාව පසුගිය සිහිවටන තුලින් හිතට ගලාගෙන ආවා. මහමයාවේ ගත කල ජීවිතය එතරම් මිහිරි කරන්නට ඔබ වැනි දියණියන් මට මහත් අත්වැලක් වූවා.
    දියණියනි, රට දැය වෙනුවෙන් දිවි ගෙවන්නට, ඔබ දිවි මඟ සරු කරන්නට, ආදරණීය ගුරු මවක ලෙස මගේ සෙනෙහෙබර පැතුම්.
    ඔබට දළදා සමිඳු පිහිට ලැබේවා.
    ජයසේකර ගුරු මෑණියන්.

    ReplyDelete
  6. මා දයාබර දුව දිල්ශාරා, ඔබේ ලිපිය මගේ ඇස් කෙවෙනි තෙත් කලා. ආදරය, සෙනෙහස, දයාව පසුගිය සිහිවටන තුලින් හිතට ගලාගෙන ආවා. මහමයාවේ ගත කල ජීවිතය එතරම් මිහිරි කරන්නට ඔබ වැනි දියණියන් මට මහත් අත්වැලක් වූවා.
    දියණියනි, රට දැය වෙනුවෙන් දිවි ගෙවන්නට, ඔබ දිවි මඟ සරු කරන්නට, ආදරණීය ගුරු මවක ලෙස මගේ සෙනෙහෙබර පැතුම්.
    ඔබට දළදා සමිඳු පිහිට ලැබේවා.

    ජයසේකර ගුරු මෑණියන්.

    ReplyDelete
    Replies
    1. අනේ... මට හරිම සතුටුයි,,, මැඩම් මගෙ ලිපිය කියවලා දෙවියනේ !!!!!!!!!!!!!! නදීකා අක්කේ... ගොඩාක් ස්තූතියි මැඩම්ට මේ ලිපිය පෙන්නුවාට.... ඒ විතරක් නොවෙයි ඒ ලිපියට මැඩම්ගෙ පිලිතුරත් මෙහි ලිව්වාට...

      මැඩම් නොදන්නවා වුනාට මම සිංහල බසට ආදරේ කලේ, ආයෙ අවුරුදු 8ක් නොලියා හිටි ජීවිතේට ආයෙත් පෑන අතට ගත්තේ මැඩම් නිසා... මම දන්නවා ඒක ඔබේ පැතුමක්... ඒ පැතුමෙන් මට මිදෙන්න බැහැ.

      මම ආසයි මැඩම් කවද හරි ඔබේ ආඩම්බරයට හේතු වෙන දුවක් වෙන්න. මම ඒ ගමන යනවා.

      ඉස්කෝලෙ ජීවිතේ පුරාවට මට දුන්නු ආදරේට , දයාවට . ගුරු භක්තියට පින් සිද්ද වෙන්න , මමත් අද ගුරුවරියක් වෙලා.. නිකම් නොවෙයි, ගුරුකමට ආදරේම ආදරේ කරන ගුරුවරියක් වෙලා. ඒ පිනෙන් ගොඩක් ඔබටත් හිමියි මැඩම්...

      මගේ අවු 2ක් පුරාවට ලිව්ව ලිපි තිබෙන sansaare.blogspot.com අඩවියටත් පිවිසෙන්නට මම ඔබට ආදරයෙන් ආරාධනා කරමින් නවතින්නම් මැඩම්...

      පින්! ගොඩක් පින්!

      Delete
  7. aththetama oya wage teachers lagen igenum labanna pin karala thiyanna oni.ithamathma lassanata a atheethaya apita kiwwata oyata bohoma sthuthi!

    ReplyDelete
    Replies
    1. චාමි... ගොඩාක් ස්තූතියි යාලු ! මට දුකයි ඇගේ ෆොටොවක් හොයා ගන්න නැහැ.

      ස්තූතියි :)

      Delete
  8. අපූරු සටහනක් දිල්....මම හිතන්නෙ ඒ ගුරුතුමියගෙ බලපෑම , ආභාෂය නිසාමයි උඹ මේ තරම් ලස්සනට ලියන්නෙ..........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රවි අයියෙ..... ඈ නිසා මම සාහිත්‍යයට පුදුම විදියට ආදරේ කලා. කිසිම සැකයක් නෑ. :)

      Delete
  9. මෙන්න දිල් අක්කට මල් මිටක්.....

    ReplyDelete